සරල භාවනාවක් -04


  • කාලය -මිනිත්තු 10-20(20ට නොවැඩි,ආධුනික නම් මිනිත්තු 10ක් ප්‍රමාණවත්)
  • සිතීමේ ආකාරය සංවර්ධනය  සඳහා ඕනෑම අයෙකුට සුදුසුය .
  • breathing meditation technique/ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කෙරෙහි සිත පිහිටුවන භාවනාවක් මෙන්ම පරිකල්පන භාවනාවක්.
  • උදෑසන කාලයට වඩාත් සුදුසුයි(නමුත් දිනයේ ඕනෑම කාලයක් භාවිතා කළ හැක.)
අපගේ සරල භාවනාවක් -01,02 හා 03 හි සඳහන් පරිදි සුදුසු සහ පහසු ඉරියවුවකින් සිරුර භාවනාවට ගැළපෙන පරිදි සකසා ගන්න .එම ලිපි වල සඳහන් පරිදි සුදුසු ලෙස සහ ඔබගේ භාවනාවට ඇති පුහුණුව මත කාල රාමුවද ටයිමරයක් මගින් සකසා ගන්න . 
මේ භාවනාව සඳහා ද ඔබට කැමතිනම් රාගධාරී සංගීත ඛණ්ඩයක් භාවිතා කල හැක .මේ සඳහා Tibetan meditation music ,zen music ,Indian flute music හා Chinese flute music ආදිය වඩාත් සුදුසුය.
නමුත් නිහඬ නිස්කලංක උදෑසන පරිසරයක සංගීතයක් නොමැතිව වුවද සිදු කළ හැක.

Yoga music -Lotus garden by shastro යන සංගීත ඛණ්ඩය ඔබට මේ සඳහා යොදා ගැනීමට හැකිනම් එය වඩාත් යෝග්‍ය බව  මාගේ පෞද්ගලික අදහසයි.

Lotus meditation with mindful breathing/නෙළුම් මල් පරිකල්පිතය සමග ශ්වසන ක්‍රියාවලියට සිත යොදවන  භාවනාවක්.
snapped by Emashi Gunasekara .

භාවනාවට සුදුසු පරිදි පහසුවෙන් සිටීමට හා දිගු වේලාවක් මනස එකඟ කර තබා ගැනීමට පහසු වන පරිදි සියල්ල සකසා ගත් පසු සුදුසු ඉරියවුවෙන් සිට සුමට ලෙස තද නොකරමින් දෙඇස් වසා ගන්න .

දැන් 1,2,3,4 ලෙස ගණන් කරමින් දිගු ආශ්වාසයක් ගන්න එය 1,2,3,4,5,6 තෙක් ගණන් කරමින් රඳවා ගන්න ඉන්පසු 1 සිට 8ට පෙර පරිදිම ගණන් කරමින් එම හුස්ම පිට කරන්න /ප්‍රශ්වාස කරන්න.මෙලෙස වට 3ක් එක දිගට ගණනය කරමින් දිගු ආශ්වාස හා ප්‍රශ්වාසයන් සිදු කෙරෙන මෙම ශ්වසන රටාව සිදු කරන්න.
ඉන්පසු තමාගේ සාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස රිද්මයට අනුව ශ්වසන ක්‍රියාවලිය සිතීමකින් තොරව සිදු වීමට ඉඩ හරින්න .එලෙස ඉඩ හැර ශ්වසන ක්‍රියාවලිය අමතක කොට මා පහළ සඳහන් කරන අයුරු සිතන්න .

නෙළුම් මලක් මඩ ගොඩින් ඉහළට මතුව මඩ නොතැවරී විකසිත වන්නාක් මෙන්,මාගේද සිත මඩ ගොඩක් වන් නිතර සිතෙන අනවශ්‍ය සිතුවිලි වලින් මුදවා , පිවිතුරුවූත්  සහ මටම ආවේනික  වූත්  නිවැරදි සිතුවිලි මතු වන සේ ඉහළට පුබුදුවා ජීවත් වන්නට උත්සහ ගනිමි  .
සැ.යු.-මෙම අදහස මිසක වචන මෙලෙසම යොදා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බව සලකන්න.
ඉහත අදහස මනසින් ආවර්ජනය කිරීමෙන් පසු තමාගේ පපු ප්‍රදේශය පිලිබඳ සිත මෙහෙයවා එය මද්‍යයේ විශාල රතු නෙළුම් පොහොට්ටුවක් ඇතැයි මනසින් පරිකල්පණය කරන්න.එය ඉතාම කුඩා දිදුලන සුපිරිසිදු නෙළුම් පොහොට්ටුවක් සේ මනසින් දකිමින් එය තමා විසින් වඩාත් විකසිත විශාල රතු නෙලුම් මලක් ලෙස පුබුදුවලනවා සේ සිතන්න.
එලෙස මනසින් රතු නෙළුම් පොහොට්ටුව පපුව මද්‍යයේ මවා ගත් පසු පපු ප්‍රදේශයේ හුස්ම ගැනීම සහ පිට කිරීමත් සමග සිදුවන ප්‍රසාරණය සහ හැකිලීම පිලිබඳ සිත යොදවන්න .

ඉන්පසු ආශ්වාසයක් ගැනීමේදී පපු ප්‍රදේශය ප්‍රසාරණය වනවාත් සමගම රතු නෙළුම් පොහොට්ටුව ටිකෙන් ටික විකසිත වන බව මනසින් දකින්න .සෑම ආශ්වාසයකදිම පොහොට්ටුව පෙර පැවතියාට වඩා ක්‍රමයෙන් විකසිත වන බව දකින්න.මෙලෙස එක් අවස්ථාවකදී එය පරිපුර්ණ නෙළුමක් වූ පසුත් සෑම ආශ්වාසයකදිම එය වඩ වඩාත් විශාල සහ වර්ණවත් වන බව දකින්න .
මෙලෙස ආශ්වාසය නිසාම සිතෙහි පිබිදුන රතු නෙළුම් පොහොට්ටුව සුන්දර නෙළුමක් ව විකසිතව තව තවත් පරිපුර්ණ  වෙමින් හා වර්ණවත් වෙමින් වර්ධනය වීමත් සමගම ඔබේ සිත සමාධියට පැමිණෙනු ඇත .එවිටද අප භාවනාව මුලදීම මෙනෙහි කළ අදහස ඔබට නැවත ආවර්ජනය කළ හැක .

කෙසේ නමුදු මෙලෙස ආශ්වාසය නිසා වඩවඩාත් සුන්දර වන මනංකල්පිත රතු නෙළුම දිහා මනසින් දකිමින් මුලු භාවනා කාලයම ඔබට භාවනා කළ හැක .
කිසියම් අවස්ථාවක සිත ආශ්වාස ක්‍රියාවලියෙන් සහ පපු ප්‍රදේශයේ මවා ගත් නෙළුම පවතින අවස්ථාවෙන් පිටතට ගියහොත් නැවත නෙළුම් පොහොට්ටුව මූලික අවස්ථාවේ සිට පරිකල්පනය කර පෙර පරිදිම භාවනාව එතැන් සිට සිදු කරන්න .

භාවනා කාලය අවසාන වූ පසු මාගේ සිතුවිලි නෙළුමක් සේ පිවිතුරු වේවා යයි සුන්දර පැතුමක් සමග දිගු ආශ්වාසයක් හා ප්‍රශ්වසයක් සිතා මතා සිදු කර දෙඇස් විවර කර සාමාන්‍ය පියවි ලෝකයට පැමිණෙන්න .
මෙම භාවනා ක්‍රමයද අත්හදා බැලීමෙන් පසු ඔබගේ අදහස් අපට දක්වන්න .

භාවනාව 01,02 හා 03 පුරුදු පුහුණු කිරීමෙන් පසුව ඔබට මෙම භාවනාව සති කිහිපයක් (2/3ක්) උදෑසන එක දිගට සිදු කර තම සිතුවිලි පාලනයේ වෙනසක් දැකීමට බොහෝ දුරට හැකි වනු ඇත .


















Comments