සැනසීම ඇති කර ගැනීමට භාවනාවක්.

ජීවිතයේ සැනසීම යනු බොහෝ විට මානසික දැනීමකි .

ඔබට දරුණු රෝගී තත්වයක් හෝ දරුණු ශාරීරික අබාධයක් නොමැති නම්,එදිනෙදා සියළු කටයුතු කර ගැනීමට අපහසුතාවක් ශරීරයෙන් හෝ කාල සටහනින් නොමැති නම් ඔබට අසතුටෙන් කල් ගෙවීමට සාධාරණ හේතුවක් නොමැත.(නමුත් ඔබට එවැනි හේතුවක් ඇතිනම් ඒ නිසා ඇති වන මානසික ආතතිය වැනි දෑ දුරු කර ගැනීමට මානසික වෛද්‍යවරයෙකුගේ හෝ උපදේශක වරයෙකුගේ උපකාර අවශ්‍ය වන අතර සරල භාවනා ක්‍රම ඒ සඳහා එතරම් ප්‍රතිපල දායක නොවනු ඇත)

බොහෝ දෙනෙකු අසතුටින් සහ මානසික අසහනයෙන් සිටිනුයේ ජීවිතයේ ඔවුන් සතු දෙයට වඩා ඔවුන්ට තවමත් ළඟා කර ගැනීමට නොහැකි වූ දෑ ගැන සිතමින් පසුතැවීම නිසාවෙනි.
සාමාන්‍ය මිනිස් මනස සැදී ඇත්තේ ඕනෑම සුළු උත්තේජයකින් පවා වඩවඩාත් වැඩියෙන් ඒ සඳහා ප්‍රතික්‍රියා කිරීමටය .එනම් ඔබ බාහිර ලෝකයේ දකින බොහෝ දේ ඔබට නැතිනම් එය අත්‍යවශ්‍ය දෙයක් නොවූවත් ඔබ එයට ඇලුම් කරන්නේ නම් එය ලබා ගැනීම කෙරෙහි ඔබේ මනස බොහෝ හේතූන් සහ අවශ්‍යතාවන් සිතුවිලි ඔස්සේ සිතමින් සදා ගන්නා අතර එය මානසික අසහනයට හේතුවක් විය හැක.ඒ අතර සමාජයේ මිනිසුන්ගේ අදහස් දැක්වීම් ආදිය පවා අප ඕනෑවට වඩා සිතට ගන්නේ නම් එයත් අපගේ සතුට උදුරා ගැනීමටත් සැබෑවටම අපට ඕනෑ දෙය වටහා නොගැනීමටත් හේතුවක් වනු ඇත .
අපගේ මනස මෙලෙස සැදී ඇත්තේ මෙයට වසර දස දහස් ගණනකට පෙර මානව ඉතිහාසයේ මුල්ම කාලයෙහි පරිසරයේ පැවති දුෂ්කරතා නිසාවෙනි.එකල මානවයන් වැඩි වැඩි වශයෙන් සම්පත් එක් රැස් කර නොගත්තේ නම් එය ඔවුන්ගේ පැවැත්මට බාධාවක් නිසාවෙනි.කිමද එකල දුර්භීක්‍ෂ සහ සාගත කාල වලදී ඒවාට මුහුණදීමට තරම් තාක්ෂණයක් සහ ගොලිකරණයක් නොතිබූ නිසාවෙනි.සාමාන්‍යයෙන් අද කාලයේ වුවද අධික දරිද්‍රතාවෙන් සහ කුස ගින්නෙන් පෙළෙන බොහෝ ජනයා ඇතත් අන්තර්ජාලය හරහා මෙම ලිපිය කියවන ඔබ සහ මම ඔවුන්ට අයත් නොවන බව පරම සත්‍යකි.එනිසාම ඔබට මට හෙට දින අපගේ කුසගින්න වැනි මූලික අවශ්‍යතා  දිහා අවිනිශ්චිත දෙස සිතා අද දින වඩවඩාත් එකතු කිරීමක් හඹා යාමක් සිදු කිරීමෙහි ලා අවශ්‍යතාවක් නොමැති බවත් එසේ කිරීමෙන් මානසික අසහනයක් පමණක් ඇති වන බවත් මගේ පිළි ගැනීමයි.

එසේම මේ මූලික අවශ්‍යතා සඳහා මනසින් ඇතිව ඇති අධි ක්‍රියාකාරී කම අපට එතරම් අවශ්‍ය නොවන විසිතුරු දෑ කරා පවා ඇදී යන්නේ අද අප ජීවත් වන ලෝකය විස්කෘත එකක් නිසාවෙනි.නමුත් මෙය අපගේ සාමාන්‍ය මනස සෑදී ඇති ආකාරයයි.මේ ගැන සිතා මනස ගැන අසතුටකට පත් නොවිය යුතුය.සැබවින්ම කළ යුත්තේ මනස වෙනස් කිරීමට අප යමක් සිදු කිරීමයි.ඉතින් ඒ සඳහා හොඳම පිළියම කෘතගුණ භාවනාවක් සිදු කිරීමයි .මෙහිදී අපගේ සිත අපට ඇති සියළු දෑ ගැන ,එනම් අපගේ ජිවිතයේ ඇති ධනාත්මක සියළු දේ ගැන මෙනෙහි කිරීමක් සිදු කෙරෙන අතර එය මනස සැහැල්ලු කර සැනසීමට පත් කරනු ඇත .මෙය දිනපතා උදෑසන හෝ දවස අවසානයේ පුරුදු පුහුණු කිරීමෙන් ඔබ වඩාත් සතුටුදායක සහ සැනසිලිදායක ජිවිතයක් ගෙවන පුද්ගලයෙකු වනු ඇත .ඉතින් මා පහතින් විස්තර කරන භාවනාව අත්හදා බලන්න.


සුදුසු ඉරියවුවකින් සකස් වී කාල වේලාව ටයිමරයක් මගින් සකසා ප්‍රථමයෙන් භාවනාවට සුදානම් වන්න.දැන් දෙඇස් සැහැල්ලුවෙන් වසා ගන්න.
නාසයෙන් දිගු ආශ්වාසයක් ගෙන මුඛයෙන් එය පිට කරන්න.ආශ්වාසය සහ ප්‍රශ්වාසය යන දෙකම ඉතා දිගු ලෙස සිදු කරන්න.ප්‍රාශ්වාසයේදී තමා සැහැල්ලු වන බව සිතන්න.මෙලෙස සිතා මතා සිදු කරන හුස්ම රටා තුනක්වත් අවම වශයෙන් සිදු කරන්න(3-5 දක්වා සිදු කිරීම ගැළපේ).ඉන්පසු ශ්වසන ක්‍රියාවලිය සාමාන්‍ය රිද්මයට සහ රටාවට සිදු වීමට ඉඩ හරින්න.

දැන් ආශ්වාසයේදී සිසිල් වාතය ඇතුළු වන බව සිත යොදවා අත් විඳින්න,එසේම ප්‍රාශ්වාසයේදී උණුසුම් වාතය පිට වන අතර එය අත් විඳින්න.මේ අතර ආශ්වාසයේදී සිසිල් වාතය ඇතුළු වීමත් සමග තම ශරීරය සහ මනස සැහැල්ලුවට සහ සැනසීමට පත් වන බව සිතන්න.ප්‍රාශ්වාසයේදී උණුසුම් වාතය පිට කිරීම මගින් ශරීරයේ සහ මනසේ කිසියම් නොසන්සුන්තාවක් ,නොසනසීමක්/අසහනයක් ඇත්නම් එය උණුසුමක් ලෙසින් පිට වන බව මනෝමයෙන් සිතන්න.මෙලෙස කිහිප වාරයක් හුස්ම ගැනීම සහ පිට කිරීමට සිත යොදවමින් සිටින්න.එවිට ඔබගේ ආශ්වාස ප්‍රාශ්වාස රටාව සන්සුන් සහ මන්දගාමී වන බවක් දැනෙනු ඇත.එහිදී පහත අයුරු සිතන්න.
  • මම  අද දිනයේ සහ මේ මොහොතේ නිරෝගීව ජීවත් වීම පිලිබඳ සතුටු වෙමි.                                                                                                                                              
  • මට අද දිනයේ පහසුවෙන් ජීවත් වීමට අවශ්‍ය මූලික පහසුකම් ,එනම් අහාර ,ඇදුම් සහ හිසට වහලක් ආදිය ඇත .මම ඒ සඳහා මටත් ,ඒවා ලබා දීමට උදවු වන සියළු දෙනාටත් ස්තූතිවන්ත වෙමි .ඒ ගැන සතුටු වෙමි.            
  • මා ලැබූ සහ ලබන අද්‍යාපනය,අත්දැකීම් සහ අත්හදා බැලීම් ගැනත්,මා හට ලැබෙන ගුරුහරුකම් හා උපදෙස් ගැනත් ස්තූතිවන්ත වෙමි.                      
  • මා මෙන් පහසු ජීවිත ගෙවන මිනිසුන් ලෝකයේ දුලබය.එනිසාම මම ඒ ගැන සතුටු වෙමි.සැනසෙමි.හැකි සෑම විටම එවැනි අඩු පහසුකම් ඇති මිනිසුන්ට උපකාර කිරීමට යොමු වෙමි.                                                                          
  • මා වටා සිටින මගේ පවුලේ අයත්,නෑදෑ හිත මිතුරන් සහ මට එදිනෙදා දිවියේ මුණ ගැසෙන සියළු කරුණික සහ ආදරනීය මිනිසුන් බොහෝය.ඔවුන්ගෙන් මා හට ලැබෙන උපකාර බොහෝය.ඒ ගැන ස්තූතිවන්ත වෙමි.                                                                                                                    
  • මා ජීවිතයේ ලබා ඇති දෑ මා හට සතුටින් සැනසීමෙන් ජීවත් වීමට ඇති තරම් ප්‍රමාණවත්ය.ඒ සියල්ල ලබා ගැනීමට ඇප කැප වුණු මටත් මා වටා සිටින සියළු දෙනාටත් මම ස්තූතිවන්ත වෙමි.                                                              
  • අද දිනයේ මේ ලෝකයේ මා ගෙවන ජීවිතය සුන්දරයි .ඒ සුන්දරත්වය දුලබයි.එනිසා මා මේ මුළු ලෝකයටම මා ලැබූ ජීවිතය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි.
මම සැනසීමට සහ සතුටට පත් වේවා!මාත් මගේ ජීවිතයත් මා වටා සිටින සියල්ලෝම ඇතුළුව මේ මුළු මහත් ලෝකයමත් සුවපත් සහ සැපවත් වේවා!සැනසේවා!
ඉහත සියළු අදහස් සහ ප්‍රර්තනාවන් මනෝමයෙන් කිහිප වරක් භාවනා කාලය අවසාන වනතුරු සිතන්න.මෙනෙහි කරන්න.
දැන් භාවනා කාලය අවසාන වූ පසු නැවත ආරම්බයේ සිදු කළ පරිදි දිගු ආශ්වාසයක් නාසයෙන් ගෙන ප්‍රාශ්වාසය මුඛයෙන් පිට කරන්න.මෙය ආරම්බයේ පරිදි තුන් වරක් පමණ කර දෙඇස් විවෘත කරන්න.
දැනෙන සැනසීම අත් විඳින්න.මෙය දිනපතා පුරුද්දක් ලෙස පුරුදු පුහුණු කිරීමෙන් ඔබ වඩාත් සතුටුදායක සහ සැනසිලිදායක පුද්ගලයෙකු බවට පරිවර්තනය වනු ඇත .



































Comments