ප්‍රාණයාම සහ භාවනාව අතර සම්බන්දතාවය.


යෝග අභ්‍යාස ගැන සාමාන්‍ය හෝ දැනුමක් ඇති අයට නම් ප්‍රාණයාම යනු මොනවාදැයි විශේෂයෙන් හඳුන්වා දීමට අවශ්‍ය නොවන බව දනිමි .නමුත් යෝගා පිලිබඳ වැඩි අවබෝධයක් නොමැති  අයට  නම් මෙම ලිපිය වඩාත් වැදගත් වනු ඇත.
සරලවම හඳුන්වා දෙන්නේ නම් ප්‍රාණයාම යනු ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය අරභයා සිදු කෙරෙන අභ්‍යාසයන් ගොන්නකි, නැතහොත් ශවසන අභ්‍යාස ක්‍රම එකතුවකි .මේවා breathing exercises වර්ගයක් ලෙසත් හැඳින්විය හැක .

බෙහෝ විට අෂ්ටාංග යෝගා හි ඉගැන්වෙන ප්‍රාණයාම අභ්‍යාසයන් යෝගා හි වින්‍යාස සහ ආසන ආදී ශරීරයේ මාංශ පේශි සහ සංධි අරභයා කෙරෙන ව්‍යායාම අවසානයේදී සිදු කරන අතර එය අවසාන වූ පසු භාවනාවක් කිරීම බොහෝ යෝගීන්ගේ පුරුද්දක් වේ.

නමුත් යෝගාසන සහ වින්‍යාස නොකරන විටදී පවා ප්‍රාණයාම අභ්‍යාස කළ හැක .එසේම භාවනාවක් නොකරන විටදී පවා පුරුදු කළ හැක .එනමුදු මා ඉහත සඳහන් කළ පරිදි පරිපුර්ණ යෝග අභ්‍යාස පුහුණුවකදී පළමුව වින්‍යාස යෝග වලින් ආරම්භ කර ,පසුව ආසන සහ තෙවනුව ප්‍රාණයාම සහ අවසානයේදී භාවනාවක් කිරීම වඩාත් ඉහළ මානසික සහ ශාරීරික සෞඛ්‍ය  ප්‍රතිපල ලබා දීමට හේතුවක් වනු ඇත .

එසේම මෙම පරිපූර්ණ යෝග අභ්‍යාස ක්‍රියාවලියකදී ශරීරය වින්‍යාස සහ යෝගාසන වැඩීමට ප්‍රථම සුදානම් කර ගැනීමටත් ප්‍රාණයාම යොදා ගැණෙන අතර එවැනි පුහුණුවකදී ප්‍රාණයාම අභ්‍යාස දෙපාරක් සිදු කරයි(ආරම්භයේදීම හා අවසානයේදී භාවනාවට පෙර ).එය තවත් යෝග අභ්‍යාස වලින් ලැබෙන ප්‍රතිපල ඉහළ නංවයි.

නමුත් ඔබට පහසු ඕනෑම අයුරකින් සහ ඕනෑම කාල වේලාවක ප්‍රාණයාම සිදු කිරීමේ ගැටළුවක් නොමැත .අවශ්‍ය වන්නේ නිවැරදි මග පෙන්වීමක් පමණි .
සමහර ප්‍රාණයාමයන් හිස් බඩ කළ යුතු අතර සමහර ඒවාට එලෙස විශේෂයක් නොමැත.

ප්‍රාණයාම යන්න සංස්කෘත වචනයක් වන අතර ප්‍රාණ යනු 'ජීවන බලය' ද .යාම යන්න "ඉවතට ගැනීම"ද වේ .එනිසා මෙමගින් ජීව බලය ඉවතට ගැනීමක් හෙවත් ඉහළ යැවීමක් සිදු වේ .
මෙහි ආරම්භය ක්‍රි.පු පස් වන කාලය තරම් ඈතට දිවෙන අතර ඉන්දියානු යෝගිවරුන් විසින් කාලයක් තිස්සේ අද වන තුරු ගෙන එන ලද දැනුමකි.

පථංජලී යෝගිවරයාගේ සටහන් වලත් ,භගවත් ගීතාව වැනි ආදී හින්දු පොත පතෙහිත් ප්‍රාණයාම අභ්‍යාස ගැන සඳහන් වන අතර අද වන විට හින්දු බැතිමතුන්ට පමණක් සීමා නොවුණු සෞඛ්‍ය වඩවන අභ්‍යාස ක්‍රමයක් ලෙසින් මේවා ලොව පුරා ප්‍රචලිතව ඇත .
ඒ අතර ටිබෙට් සහ සෙන් බුදු දහම ප්‍රචලිත සමාජයන්හිත් ප්‍රාණයාම ආදී ශ්වසන අභ්‍යාස ප්‍රචලිතය.

සාමාන්‍යයෙන් ප්‍රාණයාම අභ්‍යාස සිදු කිරීම මගින් ශාරීරික සහ මානසික සෞඛ්‍ය යන දෙකම වර්ධනය වේ.මෙලෙස සිදු වනුයේ ශරීරයට මනා ලෙස ඔක්සිජන් සැපයීම  මෙමගින් ක්‍රමවත්ව ඉහළ නංවන බැවිනි.
ශරීරය මනා ලෙස ඔක්සිජනිකරණය වූ විට ශ්වසන ක්‍රියාවලිය සන්සුන් වන නිසාත්,ශ්වසන පද්ධතිය තුළ ඇති සුළු අවහිරතා ඉවත් වීම සිදු වීම නිසාත්  එය භාවනා කිරීමට උපකාරයක් වේ .බොහෝ විට ආනාපානසති/හුස්ම පිලිබඳ සිත මෙහෙයවන භාවනාවන් හිදී වඩාත් සන්සුන් රිද්මයක් සහිත ලෙස සාමාන්‍ය ශ්වසනය සිදු වේ නම් එය භාවනාව ලෙහෙසියෙන් සිදු කරගෙන යාමටත්,සිත ඉක්මණින් එකඟ කර ගැනීමටත් පහසුවක්ය.

යෝගාහී විවිධ ප්‍රාණයාම ක්‍රම ඇති අතර ක්‍රමය අනුව ලැබෙන ප්‍රතිලාභ ද වෙනස් ය.මේවා අතර කපාලභාති,අනුලෝම විලෝම සහ බ්‍රාෂ්තරික ප්‍රාණයාම ආදිය වඩාත් ප්‍රචලිතය .(මේවා පිලිබඳ වැඩි විස්තර ඉදිරියේදී වෙනත් ලිපි මගින් ඉදිරිපත් කරන්නෙමි)

කෙසේ නමුත් ප්‍රාණයාම හෝ වෙනත් ඕනෑම ශ්වසන අභ්‍යාස ක්‍රමයන් පුරුදු පුහුණු කිරීම මගින් ශ්වසන ක්‍රියාවලිය ක්‍රමවත් වීම ශරීරයේ සියළුම අවයව ප්‍රකෘතිමත් භාවයට පත් කිරීමට හේතුවක් වේ .එනිසාම භාවනාව මගින් මොළය සහ ස්නායු පද්ධතිය තුළ ඇතිවන දියුණුව වැඩි දියුණු කිරීමටත් එය හේතුවක් විය හැක.එසේම මනා ඔක්සිජනිකරණය නිසාම ශරීරයේ එකතු වී පවතින අපද්‍රව්‍ය ඉවත් වීමක් පවා සිදු වේ .

නවතම විද්‍යාත්ම පරීක්ෂණයන්ට අදාළවත් මෙම ප්‍රාණයාම අභ්‍යාස මගින් ඇදුම ආදී ශ්වසන රෝග ලක්ෂණ අඩු වීමත් ,හර්ද රෝග සහ පිලිකා රෝග වලින් ඇති වන මානසික පීඩාවන් හා ආතතිය අඩු කිරීමට හේතු වන බවත් සනාථ වී ඇත .තවද එමගින් පෙනහළු වල ධාරිතාව වැඩි වීම ආදී වාසි ගැනත් වෛද්‍ය විද්‍යාත්මකව සොයා ගෙන ඇත .
ප්‍රාණයාම මගින් අධි රුධිර පීඩනය පවා අඩු කර ගැනීමට හැකියාවක් ඇති බවත් වෛද්‍ය විද්‍යාත්මකව සොයා ගෙන ඇත.(නමුත් ඔබ අධි රුධිර පීඩනයෙන් පෙලේ නම් සහ එයට ප්‍රතිකාර ගන්නේ නම් ප්‍රාණයාම අත්හදා බැලීමට ප්‍රථම පවා ඔබේ වෛද්‍යවරයා හට දැනුම් දෙන්න)
මෙලෙස බොහෝ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලින්  ප්‍රාණයාම අභ්‍යාස වල වාසි වැඩි දුරටත් සනාථ කර ඇතිමුත් මෙම ලිපියෙන් එය තවත් විස්තර කිරීමට මම අදහස් නොකරමි .

snapped by Emashi Gunasekara .
කෙසේ වුවත් ප්‍රාණයාම සිදු කිරීම භාවනාව සාර්ථක කිරිමෙහිලාත් තම සාමාන්‍ය ශරීර සහ මානසික සෞඛ්‍ය දියුණු කිරීම සඳහාත් භාවිතා කළ හැකි මෙවලමක් බැවින් ඒ සඳහා ඔබ උනන්දු වේ නම් දැනුවත් වේ නම් එයින් වාසියක් මිසක අවාසියක් නොවනු ඇත.
එලෙසම ඔබ ප්‍රාණයාම  අභ්‍යාස පෙර සිටම කර ඇත්නම් එයින් ඔබ ලබා ඇති අත්දැකීම් අප වෙත දක්වන්නටත් අමතක නොකරන්න .











Comments