සරල භාවනාවක් -02


කාලය -මිනිත්තු 10-15(18ට නොවැඩි)
ඕනෑම කෙනෙකුට සුදුසුයි (ඉගෙන ගන්නා දරුවන්ට වඩාත් )

breathing meditation /ආශ්වාසය සහ ප්‍රශ්වාසය ගැන සිහිය පිහිටුවන භාවනාවක්.
උදෑසනට වඩාත් සුදුසුයි.

සරල භාවනාවක්-01 ලිපියේ පරිදි සුදුසු ලෙස අසුන් ගෙන හෝ වැතිර ටයිමරය අවශ්‍ය කාලයට සකසා භාවනාව සඳහා සැහැල්ලු ඉරියවුවකින්  ලැහැස්ති වන්න .
සිරුර, පහසුවෙන් සිටීම සඳහා මනාව  සකසා ගත් පසු දෙඇස් වසා ගන්න (තදින් වසා නොගෙන සුමට ලෙස වසා ගන්න )දෙඇස් කිසි විටෙක් තදින් මිරිකා වසන්න යන්නට  එපා .


දැන් 1 සිට 4ට(1,2,3,4) ගණන් කරමින් දිගු ආශ්වාසයක්/හුස්මක්  ගන්න .එම හුස්ම  1 සිට 6ට (1,2,...6) ගණන් කරමින් රඳවා ගන්න ,දැන් 1 සිට 8ට ගණන් කරමින් එය පිට කරන්න /ප්‍රශ්වාස කරන්න .පෙනහළු අවසානයටම හිස් වන සේ දැනෙන ලෙස එම ප්‍රශ්වාසය එම කාලය තුළ පිට කරන්න .
මෙලෙස වාර 3ක් එක දිගට,එකම රටාවට ගණන් කරමින් ආශ්වාසය ,හුස්ම රඳවා ගැනීම හා ප්‍රාශ්වාසය  කරන්න.
එලෙස වාර 3ක් කිරීමෙන් පසු හුස්ම ගැනීමේ රටාව සාමාන්‍ය රිද්මයට හැරෙන්නට ඉඩ හරින්න .

එලෙස තම හුස්ම ගැනීම සාමාන්‍ය රිද්මයට පැමිණියේ  යයි දැනුණු පසු දැන් සියළුම ආශ්වාස ප්‍රශ්වාස වටයක් එකක් සේ සලකමින් 0 සිට 5ට ගණන් කරන්න .
පළමු හුස්ම 0 ලෙසද ,දෙවන හුස්ම 1 ලෙසද ආදී වශයෙන් ගණන් කරමින් තම සාමාන්‍ය ශ්වසන රිද්මය පිලිබඳ සිත යොදවන්න .
එලෙස ගණන් කරමින් 5 අංකයට පැමිණි පසු නැවත 5 සිට 0 දක්වා එලෙසම හුස්ම අවරෝහණ ක්‍රමයට ගණන් කරන්න .
ආරෝහණ ආකාරයට ගණන් කරමින් හුස්ම පිලිබඳ සිත යෙදවීමේදී තමා ඉහළට යන ලෙසත් අවරෝහණ ලෙස ගණන් කිරීමේදී තමා හුස්ම ඔස්සේ පහළට පැමිණෙන ලෙසත් මනෝමයෙන් පරිකල්පණය කිරීමට හැකිනම් එලෙසද කරන්න .

දැන් එලෙස 0ට පැමිණි පසු නැවත 0 සිට 10ටත්, 10යේ සිට 0ටත් හුස්ම ගණනය කරන්න.පෙරට වඩා ඉහළ ගොස් පහළ පැමිණෙන බවද පරිකල්පණය කරන්න .

නැවත ගණන් කිරීමේදී 0 සිට 15තෙක් සහ 15වේ සිට 0 දක්වා පෙර ලෙසම අනුගමනය කරමින් හුස්ම පිලිබඳ සිහිය පිහිටුවා ගන්න .

මෙලෙස පහේ ගුණාකාර ලෙස වැඩි වන පරිදි වේලාව අවසාන වන තුරු ගණනයන් පිළිවෙලට කරමින් සිත ශ්වසන ක්‍රියාවලිය මතම තබා ගන්න .

කිසියම් අවස්ථාවක සිත අරමුණින් බැහැර වුවහොත් නැවත මුල සිට එනම් 0 සිට 5 දක්වා ගණන් කිරීමේ සිට ආරම්භ කරන්න .

ටයිමරයේ වේලාව අවසාන වූ බවට නාද වූ පසු ගණනය කිරීම නවතන්න .සාමාන්‍ය ශ්වසන රිද්මයෙන් මිදී ඉතා දිගු හුස්මක් ගෙන එය පිට කර තමාගේ ශරීරයේ ස්පර්ශ වන තැන් ගැන සිත යොදවා පියවි සිහියට පැමිණෙන්න .
ඉන්පසු දෙඇස් විවර කර දවසේ වැඩ ආරම්භ කරන්න .
ඔබට  භාවනා කාලය පුරාම ගණනය අමතක නොවී මුල සිට කිරීමට සිදු නොවූයේ නම් ,තමා ගේ හුස්ම ගත් පහේ ගුණාකාර රටාව පොතක ලියා එකතුව බැලීමටද හැකිය .උදෑසනම මානසික අභ්‍යාසයක් ලෙස .

මෙම භාවනාව පාඩම් වැඩ කරන අතර මැදදී සිත එකඟ කිරීමට වුවද ඕනෑම අයෙකුට යොදා ගත හැක .

මෙය අත්හදා බැලීමෙන් අනතුරුව ඔබගේ අත්දැකීම් ගැන comment/කොමෙනුට්වක් මගින් පල කිරීමටත් අමතක කරන්න එපා .
සැ .යු -ඔබ භාවනාව අලුතින්ම පටන් ගත් අයෙකු නම් මිනිත්තු 10-12ට වඩා එක දිගට මෙය නොකරන්න .

එමෙන්ම ගණනය කිරීම් කොහේදී හෝ මග හැරුණි නම් සහ නැවත සිතින් මුල සිට කිරීමට සිදු වුණි නම් ඒ ගැනද  පසුතැවීමට ලක් නොවන්න . එය සිත පුරුදු පුහුණු වනවිට ක්‍රමයෙන් හරි ගැසී යනු ඇත .
marble beach (Sri Lanka )


















Comments