භාවනාවෙන් අධික තරබාරුව අඩු කෙරෙන අයුරු .-01


භාවනාවෙන් මානසික සෞක්‍ය දියුණු වීම පමණක්ම සිදු නොවන බව භාවනාවේ ප්‍රයෝජන ගැන වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි ඇසුරින් අප ඔබට  කියා දී ඇත.(https://sinhalameditation.blogspot.com/2020/04/blog-post_15.html)

තරබාරුකම හා සැබවින්ම බැඳී ඇත්තේ අලසකම,පෙරේතකම හා ව්‍යායාම නොකිරීම ලෙස ගොඩ දෙනෙක් සිතුවද .මා හට පෞද්ගලිකව හමු වන බොහෝ දෙනෙක් පවසන දෑ  නම්,"අපි කන්නෙත් නෑ වැඩිය,ඒත් මහත් වෙනවනේ" .නැතහොත් "කොතරම් අහාර පාලනය කර ව්‍යායාම් කිරීමට ගියත් මහත තාවකාලිකව හැර දීර්ඝ කාලීනව අඩු කර ගැනීම අපහසු බවයි ".
තවත්  බොහෝ දෙනෙකු  ගේ ගැටළුව නම් ශරීරයේ අනෙකුත් කොටස් වලට වඩා ඉදිරියට උදරය  නෙරා ඒමයි.කෙසේ නමුත් උදරය නෙරා(central obesity) ඒම කොයි කාගේත් විශාලතම ගැටළුවක් මෙන්ම දියවැඩියාව ,හර්ද රෝග හා අධි රුධිර පීඩනය ආදී විවධ ලෙඩ රෝග රැසකට හේතුවකි .

ඉතින් බර අඩු කර ගැනීමට සහ සිරුරේ අනවශ්‍ය මේදය,විශේෂයෙන්ම අවයව වටා එකතු වන මේදය(visceral fat)සඳහා හේතු කාරක වන උදරයේ මහත(central obesity)අඩු කර ගැනීම ශරීර සෞක්‍ය වැඩි දියුණු කර ගැනීමට සිතන සියල්ලන්ගේම කැමැත්ත සහ ආශාවයි.


භාවනාව සහ මහත්  නොවී සිටීම අතර සම්බන්දතාවය කුමක්ද ?
බොහෝ විට ජාන සහ වැරදි ජිවන පුරුදු සහ රටා වලට අමතරව බෙහෙවින්ම කෙනෙකු මහත් වීමට (විශේෂයෙන් උදරය මහත් වීමට )හේතුවක් වනුයේ ජීවිතය තුළ බෙහෙවින් ඇති වන අතතින්ය .විශේෂයෙන් mental stress නොහොත් මානසික ආතතිය ශරීරයේ අනවශ්‍ය ක්‍රියා රසායනිකව සිදු වීමට හේතුවක් වේ ,
එනම් cortisol /කොර්ටිසොල් යන ආතති හෝර්මෝනය වැඩි වශයෙන් නිපදවී රුධිරයට මුදා හැරීමෙන්ය.
මානව ඉතිහාසයේ වඩාත්ම අධික වශයෙන්  මානසික ආතතියට ලක් වන මිනිසුන් සිටිනුයේ අද සමාජයේය.එසේම ඔබත් මාත් එම අසහනකාරී සමාජයේ කොටස්කරුවෝ වෙති.
අතීතයේ මිනිසුන්ට මානසික ආතතිය ඇති වුයේ සාගත ,නියං හා නපුරු සතුන්ගේ උවදුරු ඇති වන අවස්ථා වැනි ජීවිත කාලය පුරා ඒකාකාරී නොවන සිද්ධීන් වලදීය .
එබැවින් එවැනි ආතතීන් තාවකාලික ඒවා විය .එබැවින් කොර්ටිසොල් හෝර්මෝනය ජනනය වීම ද එම මිනිසුන් තුළ සිදු වූයේ තාවකාලිකව වරින් වර විය .
මෙම කොර්ටිසොල් මගින්  මිනිස් ශරීරය එවැනි විනාශකාරී අවස්ථා වලට මුහුණ දීමට මෙහෙයවන අතර එහි ප්‍රතිපලයක් ලෙස කෙටි කාලීනව එම හෝර්මෝනය ඇති කල්හි ශරීරයේ ක්ෂණික ශක්තිය ඉහළ යාමත්,ප්‍රතිශක්තිය වැඩි වීම,මතක ශක්තිය වැඩි වීම සහ වේදනා සංවේදීතාව අඩු වීම ආදිය සිදු වන අතර එය ශරීරයට හිතකර වේ .

නමුත් කාලයක් පවතින ආතතියකදී එනම් Chronic stress තත්වයකදී දිගටම කොර්ටිසොල් ඉහළ මට්ටමක පවතින අතර එයින් ලැබෙන ප්‍රතිපල හානිකර වේ .එවිට ලැබෙන මෙම හානිදායක ප්‍රතිපල නම්,

  1. උදරයේ මේදය වැඩි වීම.
  2. රුධිරගත සීනි මට්ටම ඉහළ යාම.
  3. රුධිර පීඩනය ඉහළ යාම.
  4. අස්ථි වල ඝණත්වය අඩු වීම. 
  5. මාංශ පේශි ප්‍රමාණය අඩු වීම. 
  6. ප්‍රතිශක්තිය හීන වීම. 
  7. තයිරොයිඩ් ග්‍රන්තියේ ක්‍රියාකාරීත්වය අඩු වීම.
  8. තර්කන හැකියාව සහ චින්තන ශක්තිය අඩු වීම.

 මේවාට අමතරව කොර්ටිසොල් මගින් බඩගින්න සහ ආමාශයික ආම්ලිකතාව වැඩි වීම මගින් අහාර ගැනීමේ වාර ගණන වැඩි වේ.එමෙන්ම මනසේ ඇති අසහනකාරී තත්වය මගහරවා ගැනීමට වැඩි වශයෙන් සීනි සහ පිෂ්ටය අධික ආහාර ගැනීමට දොළ දුක් ඇති වීමද සිදු විය හැක .


ඉදින් භාවනාව මගින් මානසික ආතතිය අඩු වන නිසාවෙන්ම රුධිරගත කොර්ටිසොල් මට්ටමද දීර්ඝ කාලීනව අඩු කර ගැනීමට හැකි වන අතර එමගින් ඇති වන අහිතකර ප්‍රතිපල මග හැරේ .
මෙයට අමතරව ඔබේ දීර්ඝ කාලීන ඒකාකාරීව පවතින ආතතිය අඩු වුවත් ස්වභාවිකව කෙටිකාලීනව (දවසේ සුළු වෙලාවක් පමණ සමහර දිනක/කලාතුරකින් ) ඇති වන විට එය කෙටි කාලීනව කොර්ටිසොල් මුදා හැරීමට හේතු වන බැවින් එමගින් ඇති වන හිතකර ප්‍රතිපලද ලබා ගත හැක .

තවද තායිලන්ත වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසක්  යොදා ගනිමින් සිදු කළ පරීක්ෂණයකට අනුව පවා mindfulness/සිහිය පවත්වා ගැනීමේ භාවනා ක්‍රම මගින් රුධිරගත කොර්ටිසොල් ප්‍රමාණය අඩු වීමත්,එමගින් මානසික රෝග ,ඉරුවාරදය සහ ආමාශයික ආම්ලිකතාවය ආදී දීර්ඝ කාලීන ආතතිය නිසා ඇති වන රෝග අවධානම අඩු වන බවත් නිගමනය කර ඇත .(https://www.ncbi.nlm.nih.gov/pubmed/23724462)
තවද උදෑසන රුධිරගත කොර්ටිසොල් ප්‍රමාණය භාවනා කරන්නන් අතර අඩු බවත් තවත් විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි වී ඇත. (https://www.ncbi.nlm.nih.gov/pubmed/26390335)

මෙලෙස  භාවනාව මගින් මානසික ආතතිය අඩු වීම හා රුධිරගත කොර්ටිසොල් අඩු වීම සිදු වන බව දැන් ඔබට පැහැදිලි බැවින්,උදරයේ තරබාරුව  සහ අඩු නොවන තරබාරුකම මගහරවා  ගැනීමටද භාවනාව භාවිතා කරන්න .නමුත් එය පමණක් අරමුණු කර කෙටි කාලයකින් ප්‍රතිපල ලැබීමට සිතා සති කිහිපයක් පමණක් භාවනා කර ප්‍රතිපල නොලැබුණහොත් ඒ ගැන කණගාටු නොවන්න.

කිමද කොර්ටිසොල් හෝ ආතතිය පමණක්ම  තරබාරු වීමට හේතුවක් නොවන නිසාත් ,කාලයක් තිස්සේ ශරීරයේ තැන්පත් වූ මේදය සති කිහිපයක් තරම් ඉක්මණින් දිය වී යාම සිදු විය නොහැකි නිසාත්ය.
කෙසේ නමුදු භාවනාව ඔබේ දෛනික ජීවිතයේ සෞක්‍ය පුරුද්දක් කර ගැනීම වඩාත් පලදායි ජීවිතයක් ඔබට ලබා දීමට සෑම අතින්ම හේතු වන බව සිතන්න.

දිගු කාලීන ආතතිය අඩු වීම ඔබගේ සිරුරේ ප්‍රමාණය සහ හැඩය කෙසේ වුවද  ඔබව වඩාත් සතුටින් තැබීමට හේතු වේ .







Comments