භාවනාවෙන් අධික තරබාරුව අඩු කෙරෙන අයුරු .-02

අපගේ පෙර ලිපියකින් තරබාරුකම සහ කොර්ටිසොල් හෝර්මෝනය සම්බන්ධ බොහෝ දේ විස්තර කෙරුණු අතර  තවත් ලිපියකින් තරබාරුකම අඩු කිරීම හා භාවනාව සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණ පවා පෙන්වා දෙන විස්තරයක් ඇතුලත් වන සේ ඒ සඳහා ඇති විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කෙරුණි .
අද ඉන් ඔබ්බට ගොස් භාවනාව මගින් තව දුරටත් තරබාරුව අඩු කර ගැනීමට යොදා ගත හැකි ක්‍රම විස්තර කරන්නට සිතුවෙමි .
බොහෝ විට අධික තරබාරුකම ඇති කිරීමට හෝර්මෝන ,ජාන මෙන්ම විවධ අනෙකුත් තමාට කෙලින්ම පාලනය කළ නොහැකි බොහෝ කරුණු  හේතු වූවත් තමාට පාලනය කළ හැකි තමාගේ ජිවන රටාව වඩාත්ම ඉහළින් බලපාන සාධකය වන බව ඔබ සියල්ලෝම දන්නා බව මාගේ අදහසයි .
ඉතින් මේ වැරදි ජිවන රටාව වෙනස් කර ඉන්පසු සෞඛ්‍යමත් පුරුදු වඩවඩාත් ජීවිතයට එකතු කර ගැනීම සඳහා අප හට භාවනාව යොදා ගත හැකියි .ඒ සතිය/සිහිය පිහිටුවා ගැනීමට භාවනාවෙන් ඇති කරන හැකියාව නිසා එම පුරුදු ඇති කර ගැනීමට එයින් ඇති වන ධනාත්මක බලපෑම  නිසායි .
සැබවින්ම කාලයක් තිස්සේ  භාවනාවට යොමු වූ අයෙක් තමාගේ සිතට ඇති වන විවධ සිතුවිලි සම්බන්ධව මනා සිහියකින් සිටීමට පුරුදු වන අතර එවැනි කෙනෙකු ආහාරයක් ගැන සිතට සිතුවිල්ලක් පැමිණි විට පවා එම සිතුවිල්ල ගැන මනා කල්පනාවෙන් යුක්ත වේ .එනිසාම එවැන්නෝ එලෙස සිතුවිල්ලක් ආසාවක් පැමිණි විට එය එක විටම ක්‍රියාත්මක කිරීම තමාට සුදුසුද යන්න විශ්ලේෂණයෙන් පමණක්ම එය ක්‍රියාත්මක කිරීමට හෝ නොකිරීමට යොමු වේ .

උදාහරණයක් ලෙස ඔබට fast food /ක්ෂණික ආහාරයක් කඩයෙන් ගෙන ඒමට ආසාවක් සිතේ .නැතහොත් ගෙදරදී අහාර පිසීමට කම්මැලිකමක් ඇතිවී එලෙස කඩයෙන් එවැනි ආහාරයක් ගෙන ඒමට සිතේ .
ඔබ භාවනාව පුරුදු කළ අයෙක් නම් එවිට ඔබ එම සිතුවිල්ල පිලිබඳ සිතන අයුරු  -

  1. මම කී දවසකට පෙර මෙලෙසම එතරම් සෞඛ්‍යමත් නොවූ ආහාරයක් කඩයෙන් ගෙන ආහාරයට ගත්තේද ?
  2. මම මාසයකට එක පාරකට වඩා වැඩියෙන් මෙලෙස සෞඛ්‍යමත් නොවූ අහාර පිටින් ගෙන ඒම කිරීම තුළින් මගේ සෞඛ්‍යට බලපෑමක් ඇතිවිය හැකියි  නේද ? 
  3. ඇයි මම අද අහාර පිස ගැනීමට කම්මැලි ?
  4. මට අද වේලාව අඩු නිසා ලෙහෙසියෙන් පිස ගත හැකි සෞඛ්‍යමත් ආහාරයක් සොයා ගත නොහැකිමද ?
  5. මට අද කෙසේවත් ආහාරයක් පිස ගැනීමට නොහැකියි (සාධාරණ හේතුවක් නිසා ).එහෙනම් මම කඩයෙන්/පිටින් ආහාරයක් ගෙන එන්නේ නම් එය තරමක් හෝ සෞඛ්‍යමත් වෙන ලෙස මට ගෙන්වා ගත නොහැකිද ?(සාමාන්‍යයෙන් ඔබට සාපේක්ෂ ලෙස සෞඛ්‍යමත් ආහාරයක් ඇනවුම් කළ හැකි අවස්ථා ඇති බැවින් )
  6. මෙලෙස මට දිගින් දිගටම අහාර පිසීමට වේලාවක් නොමැති වේ නම් ,මම ඒ සඳහා වේලාව සකසා ගන්නේ කෙසේද ?
මෙලෙස භාවනාව පුරුදු කළ අයෙක් තම සිතට ඇති වූ ආශාව සහ අවශ්‍යතාව සැබවින්ම අත්‍යවශ්‍ය වශයෙන් ක්‍රියාත්මක කල යුතුමදැයි ඇගයීමක් කිරීමෙන් පසුව තීරණය කරන අතර එය තමාගේ ජිවන රටාව මනාව සකසා ගැනීමට හේතුවක් වනු ඇත.එමගින් අධික තරබාරුකම පවා පාලනය කිරීමට එවන්නේකුගේ සිතුවිලි හේතු වනු ඇත .

ඔබ භාවනාව පුරුදු නොකළ අයෙක් නම් එවිට ඔබ එම සිතුවිල්ල(කඩයෙන්  ආහාරයක් ගෙන ඒම) පිලිබඳ සිතන අයුරු  -
ඔබ එම සිතුවිල්ල ක්‍රියාත්මක කිරීමට ක්ෂණයෙන් යොමු වන අතර ,මම මොන වගේ කෑමක් ද ඇනවුම් කළ යුත්තේ යයි සිතනු ඇත .
එහිදී වඩාත් රසය සහ ආශාව පිලිබඳ පමණක්ම ඔබ සිතනු ඇත .
වහා ක්‍රියාත්මක වී තම දිවට වඩාත් රසවත්ම වන ආහාරය ඇනවුම් කිරීමට ඔබ පෙළෙඹෙන අතර විටෙක එය දිගින් දිගටම ගෙන යන පුරුද්දක් ද කරගෙන යාමට තරම් නොසැලකිලිමත් වනු ඇත .ඉතින් මෙලෙස සිතුවිලි පිලිබඳ මනා සංයමයක් සහ සිහියක් නොමැති වීම කාලයත් සමග තරබාරුව වැනි ගැටළු පවා ඇති කිරීමට හේතුවක් වනු ඇත .

මෙලෙස භාවනාව හා තරබාරුව පාලනයට එහි ඇති වැදගත්කම මනසට භාවනාව මගින් ඇති කරන ධනාත්මක බලපෑම නිසා සිදු වන අයුරු ඔබට දැන් මනාව පැහැදිලි වී ඇති බව සිතමි .එමෙන්ම මෙම බලපෑම කෙනෙකුට ව්‍යායාම කිරීමට යොමු වීමට ,මත්පැන් හා දුම්වැටි වැනි වැරදි පුරුදු වලින් වෙන් වීම ආදියට  රුකුලක් වීම භාවනා කරන්නවුන් තව තවත් සෞඛ්‍යමත් වීමට හේතුවක්  වේ.

ලිපිය අවසාන කිරීමට පෙර තරබාරුකම හෝ වැරදි සෞඛ්‍ය පුරුදු මගහරවා ගැනීමට කුඩා භාවනාවක් කියා දීමට සිතුවෙමි .
මෙය සෑම උදෑසනකම අවදි වූ පසුව හෝ රාත්‍රියෙහි නින්දට යාමට පෙර ඔබට සිදු කළ හැකියි .දිනපතා එක් වරක් හෝ දෙවරක් සිදු කළ හැකියි .

  • කාලය -මිනිත්තු 5-7
  • රාත්‍රියේ නින්දට පෙර හෝ උදෑසන අවදි වූ පසු .(දිනකට -1වරක්/2වරක් )
  • අඩුම තරමේ දින 21ක් එක දිගට පුරුදු පුහුණු කළ යුතුය .
  • වඩාත් සුදුසු වන්නේ තරබාරුකම හෝ සිරුරේ බර සම්බන්ධව ගැටළුවක් හෝ දියවැඩියාව ආදී අහාර රටාව පාලනය කළ යුතු ගැටළුවක් ඇති අයට .(නමුත් ඕනෑම අයෙකුට සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට යොදා ගත හැක )
සරල භාවනාවක් -01 පරිදි ඉරියවුව සහ භාවනාවට සුදානම් වන අයුරු සියල්ල සකසා ගෙන ලැහැස්ති වන්න .
දැන් දෙඇස් වසා  දිගු හුස්මක්(සිතාමතා) ගනිමින් බඩ පුම්බන්න.එය 1සිට 2ට පමණ ගණන් කරමින් රඳවා තබා ගෙන බඩ තදින් හකුළුවමින් හුස්ම පිට කරන්න .හුස්ම පිට කළ පසු බඩ තදින්ම හකුළුවා තබා ගනිමින් නැවත හුස්මක් නොගෙනද තත්පර 2ක් පමණ 1,2 යයි ගණන් කරමින් සිටින්න .
මෙවැනි සිතාමතා ගන්නා හුස්ම (ඉහත පරිදි) වට 3ක් එක දිගට කරන්න .
දැන් හුස්ම සාමාන්‍ය ස්වාභාවික රිද්මයට හා රටාවට සිදු වන්නට ඉඩ හැර එය මනසින් දකින්න .එසේ දකිමින් සෑම හුස්මක්ම 10 සිට අවරෝහණ ක්‍රමයට ගණන් කරමින් 0 දක්වා ගණන් කරන්න .
0 වන හුස්ම දිහා ද මනස යොදවා ගණනය කර අවසාන වූ පසු දැන් ඔබේ සිත වඩාත් ඒකාග්‍ර තත්වයකට පත් වනු ඇත .(කිසියම් විටෙක ගණනය අමතකව සිත වෙනතකට යොමු වුවහොත් නැවත 10 සිට 0 දක්වා මුල සිට හුස්ම ගණනය කරන්න )

මෙලෙස සිත ඒකාග්‍ර වූ පසු ඔබට යටි සිතට ඇතුළු වන පරිදි තමාට අවශ්‍ය අරමුණු මෙනෙහි කළ හැකියි .
එනිසා එවිට මෙලෙස සිතන්න .
මා අද දින සිට (රාත්‍රියේ සිදු කරන්නේ නම්  හෙට උදා වන දින සිට) මා තුල නිවැරදි  අහාර පුරුදු හා ව්‍යායාම කිරීම ආදී සෞඛ්‍ය පුරුදු වැඩි වැඩියෙන් ඇති කර ගනිමි .
ශරීරය සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමට අවශ්‍ය දැනුම වඩවඩාත් ලබා ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමටත් පෙළඹෙමි .
මාගේ ශරීරයට කරුණාවෙන් හා දයාවෙන් සලකමි .
මම සුවපත් වෙම්වා !නිරෝගීමත් වේවා !සෞඛ්‍යමත් වේවා ! 
(මෙම සිතුවිලි භාවනාවට පෙර මතකයට නංවා තබා පසුව භාවනාව ආරම්භ කිරීමෙන් මෙනෙහි කිරීම වඩාත් පහසු වනු ඇත .)
මෙලෙස භාවනා කාලය අවසාන වනතුරු මෙම සිතුවිලි දිගින් දිගට මෙනෙහි කරන්න .යම් විටෙක සිත වෙනතකට යොමු වුවහොත් හුස්ම /එනම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කෙරෙහි මනස ගෙන එන්න .ඉන්පසු නැවත මෙම සිතුවිලි මෙනෙහි කරන්න .
භාවනා කාලය අවසාන වූ පසු නැවත භාවනාව ආරම්භයේදී සිදු කළ පරිදිම දිගු හුස්ම රටා 2-3ක් බඩ පිම්බීම හා හැකිලීම හා හුස්ම රඳවා ගැනීම ආදිය පෙර සඳහන් කල පරිදිම සිදු කර පියවි ලෝකයට පිවිසෙන්න .

තවත් ලිපියකින් සතිය පිහිටුවා අහාර ගැනීමත් ,යෝග ව්‍යායාම ක්‍රම මගින් තරබාරුව අඩු කිරීම ආදිය ගැනත් තොරතුරු ගෙන එන්නට සිතන්නෙමි .එතෙක් මෙම භාවනා ක්‍රමය භාවිතා කර සති 3-4කට පසු ප්‍රතිපල ඇතිනම් එය කොමෙන්ටුවක් මගින් අපට දැනුම් දෙන්න .
Amala Hasarinda photography .

 
 
 














Comments