යෝග නිද්‍රා /යෝගී නින්ද ...

යෝගා ගැන වැඩිදුර කියවා සොයා බලා ඇති අයට නම් යෝග නිද්‍රා අළුත් නොවේ .නමුත් ඒ ගැන අසා නැති අය වෙනුවෙන් මෙය ලියන්නට සිතුවෙමි .

යෝග නිද්‍රා නැතහොත් යෝගී නින්ද ලෙස හැඳින්වූවත් මෙයත් එක්තරා භාවනා ක්‍රමයකි.වෙනස වන්නේ මෙය බොහෝ විට නිදා ගන්නා ලෙස වැතිර සිදු කරන භාවනා ක්‍රමයක් නිසාවෙනි .සක්මන් භාවනාවේදී ඇවිදමින් සිදු කරන්නාක් මෙන් මෙහිදී වැතිර සිදු කළත් නිද්‍රාවකට පත් නොවී සිටිය යුතුය.එනම් මනසින් නින්දට වැටීම සිදු නොකළ යුතුය .
මෙම භාවනා ක්‍රමයට යොදා ගැනෙන ඉරියවුව ශවාසනයයි.එය මා සරල භාවනාවක්-01 හිද භාවනා කිරීමට සුදුසු ඉරියවු යටතේ ඉදිරිපත් කළ මුත් මෙහිදීත් පහතින් පෙන්වා දෙන්නම් .


මෙහිදී කිසිවිටෙකත් හිසට කොට්ටයක් භාවිතා නොකරන අතර ,බොහෝ විට බිම පැදුරක් එලා වැතිරීමෙන්  සිදු කරයි .
ඉතින් යෝග නිද්‍රා කෙබඳු භාවනවක්ද යන්න මෙම ලිපියෙන් මා කියා දෙන්නට සිතන අතර ඉදිරියේදී යෝග නිද්‍රා විවිධ භාවනාවන් ඉදිරිපත් කරන්නම් .

ඕනෑම යෝග නිද්‍රා භාවනා ක්‍රමයකදී මුළු සිරුර පුරාම ,සිරුරේ සෑම අංගයක් කරාම සිත යොදවන අතර එය full body scan meditation method එකක් ලෙසද හඳුන්වා දිය හැක .මෙහිදී පළමුව පාදාන්තයේ ඇඟිලි සහ යටිපතුල් කෙරෙහි සිත යොදවා පසුව ක්‍රමයෙන් හිස තෙක් මුළු සිරුරේම කුඩා කොටස් වෙත වෙන වෙනම සිත යොදවා එම කොටස් සැහැල්ලු වන බවට මනොමයෙන් පරිකල්පණය කරයි .

ශරීරය පුරා සිත යෙදවීමට ප්‍රථම මෙම භාවනා ක්‍රමයේදී බාහිර ශබ්ද කෙරෙහි මනස යොදවා ඒවායෙන් ඈත් කිරීමක් සිත තුලින්ම ඇති වන සේ අරමුණක් ද ලබා දේ .එයට අමතරව භාවනා කාලය තුළ තමා නින්දට නොවැටෙන බවට අධිෂ්ටාන පොරොන්දුවක් ද සිදු කරයි .(මේ සියල්ල මනසින් සිදු කල යුතුය.)

මෙම ුභාවනා ක්‍රමය මගින් මුළු  සිරුරම සැහැල්ලුවට පත් වන අතර මෙය නින්දට පෙර යොදා ගැනීම මගින් රාත්‍රියට නිදා ගැනීම අපහසු අයට පවා ඉන් මිදීමට අත්වැලක් වනු ඇත  .එනම් insomnia රෝගී තත්වයට(නින්ද නොයමේ මානසික රෝගයක් )මෙය බෙහෙවින් උපකාර වන භාවනාවකි .

එමෙන්ම යෝග නිද්‍රා මගින් ශාරීරික ආතතිය සහ chronic pain/කාලයක් පවතින හොඳ නොවන වේදනාවන් පවා අඩු කර ගැනීමට හැකියාවක් ඇත .
මෙය අතීතයේ සිටම යෝගිවරුන් මනස සහ සිරුර යන දෙකම සැහැල්ලු කර ගැනීම සඳහා යොදා ගත් භාවනා ක්‍රමයකි .
විශේෂයෙන්ම යෝග අභ්‍යාසයක් අවසානයේදී මෙම භාවනා ක්‍රමය සිදු කර අභ්‍යාසය අවසාන කරනවානම් එය යෝග කිරීමේදී ශරීරයේ මාංශ පේශි වල ඇති කරන සුළු වේදනාවන් අමතක කිරීමටත් හේතුවක් වේ .එසේම  බොහෝ අෂ්ටාංග සහ වින්‍යාස යෝග අවසානයේදී බොහෝ යෝගිවරුන් මෙම භාවනාව සිදු කිරීමට අමතක නොකරයි .

තවදි මානසික පීඩාකාරී අවස්ථා හා විභාගයකට පෙර දින හෝ තරඟයකට පෙර දිනක සිදු කිරීමට පවා මෙය ගැලපේ .මෝහන කටයුතු සහ යටි සිතට අරමුණු ලබා දෙන භාවනා ක්‍රම වල ආරම්භක මානසික අභ්‍යාසයක් ලෙසත් යෝග නිද්‍රා යොදා ගත හැක .

යෝග නිද්‍රා භාවනාවන්  සොඳුරු අත්දැකීම් ගෙන දීමට සමත් බැවින්ම අනාගතයේ එවැනි සොඳුරු භාවනා ඔබ වෙතට ගෙන එන්නට සිතමි .යෝග නිද්‍රා සම්බන්ධව ඔබගේ අත්දැකීම් සහ අදහස් ඇත්නම් කොමෙන්ටුවක් මගින් මා සමග බෙදා ගන්න .
ලොව පුරා සංචාරය කිරීමට සිහින දකින වාරයක් පාසා  ඔබ  එක වරක් හෝ ඔබේ  බාහිර ශරීරය සහ අභ්‍යන්තර මනස යන දෙක තුළ සංචාරයක් කරන්නේ නම් එය ලෝකයක් පුරා සංචාරයට වඩා සොඳුරු අත්දැකීමක් මවනු  ඇත.
Snapped by Emashi Gunasekara 












Comments