ස්වභාව සෞන්දර්ය විඳීමේ සතුට භාවනාවකින් විඳ ලබා ගන්නේ කෙසේද ?

අප අද ජීවත් වනුයේ විස්කෘත ලෝකයකයි.
ඒ ලෝකය සුන්දර මුත්,ඒ සුන්දරත්වය ස්වාභාව ධර්මයෙන් බැහැර වූ කෘතීම වූවකි.එමෙන්ම එම ලෝකය බෙහෙවින්ම  වාණිජකරණය වී ඇති අතර එහි ඇති භෞතික සැප සම්පත්  මුදල් සෙවීමකින් තොරව කෙලෙසකවත් ළඟා කර ගත නොහැකි බව අප සියල්ලෝම දනිති.

මේ සටහන මනුෂ්‍ය වර්ගයා මැවූ,නොනවතින මෙහෙයක යෙදෙමින් හැඩ සහ ඔප නංවන මේ අපූරු  විස්කෘත ලෝකය නොවිඳින්නට යයි පවසන්නට නොවේ .නමුත් එය විඳින්නට ගොස් ස්වභාව සෞන්දර්ය නොවෙනස්ව අදටත් පවතින මානවයාගේ අතවරයට ලක් නොවූ ලෝකය විඳීමෙන් ඔබට ඇති වන සදාතනික සතුට මගහැරී යාම වලක්වා ගන්නට උදවුවක් වන්නටය .
එසේම සැබෑ සතුට යනු අප කිසිදු හඹා යාමකින් තොරව අප සිත තුලින්ම විඳිනා දැනීමකි.එය ස්වභාව සෞන්දර්යයේ අප තනි වී නිහඬ වූ විටද විඳිය හැක.
එලෙස  දැනෙන නිහඬ නිස්කලංක වින්දනය ලබා ගැනීම සඳහා අතීතයේ සිටම බොහෝ යෝගීන්,මුනිවරුන් සහ බෞද්ධ බික්ෂුන් පෙර මිනිස් ඇස නොගැටුණු වනපෙත් කරා ගොස් භාවනා කරන්නටත් නිදහසේ කාලය ගත කරන්නටත් පෙළඹී ඇත.

මෙලෙස සැබෑ ලෝකයේ පරිසර සුන්දරත්වය හා මුසුව ගෙවන ජීවිතය භාවනාවක් ලෙසද මනසේ මවා ගනිමින් අත් විඳිය හැකි බව ඔබ දන්නවාද  ?

ලොව පුරා පැතිරී යමින් පවතින COVID-19 වසංගතය හමුවේ සියලු සංචාරක කටයුතු නවතා නිවෙස් වලටම අප කොටුවී සිටින මේ කාලයේ සොඳුරු නිදහස් වනපෙතක හෝ  ගං ඉවුරක තනිව ලබන ඒ නිදහස පෙනෙන තෙක් මානයක ඉටු කර ගත නොහැකි සිහිනයක් බවට පත් වී ඇති බැවින්ම, අද  මේ භාවනා ක්‍රමය ඔබට කියා දීමට සිතුවෙමි.
එය ඉතාම සරල ලෙස කල හැකි දෘශ්‍ය පරිකල්පිත භාවනාවක් සේ හැඳින්වීමට මා කැමතිය.
භාවනාව වැඩීමට පෙර ඔබ යාමට කැමති පරිසරයන් ඇති චායාරූප නිරීක්ෂණය කරන්න.ඔබගේ පෞද්ගලික පෙර සංචාර වල පරිසර චායාරූප වුවද මේ සඳහා යොදා ගත හැක.නමුත් වීඩියෝ පට නැරඹීමට නොයන්න.
එසේම ඒවා තරමක් නරඹා ඉන්පසු අන්තර්ජාලයේ ඇති හෝ ඔබ සන්තකයේ  ඇති පරිසරය තේමා වූ රාගධාරී(classical flute music) සංගීතය වැනි සංගීත පටයක්ද තෝරා ගන්නේ නම් භාවනාව සිදු කරන කාලය තුළ එයට සවන්දීමද  කළ හැක .

මේ සියල්ල සකසා ගත් පසු ඔබ භාවනාව සඳහා සුදුසු ස්ථානයක සහ මාගේ පෙර ලිපි වලින් කියා දුන් අයුරු සුදුසු ඉරියවුවකින් සිට, සුදුසු කාලයකට ටයිමරය සකසා ලැහැස්ති වන්න (මිනිත්තු 15කට නොවැඩි).

මෙහිදී පළමුව දිගු ආශ්වාස සහ ප්‍රශ්වාස සහිත හුස්ම 3ක් පමණ තමාගේ ස්වයං පාලනයෙන් සිදු කරන්න.
ඉන් අනතුරුව තමා ඉතා ඉහළ ස්ථානයක සිට පහළට ඇදෙන සේ අඩි පාරක යන්නාක්  මෙන් සිතින් සිතමින් සාමාන්‍ය හුස්ම රටාව ගැන සිත යොදවන්න .ඔබට සෑම හුස්මක්ම ගණන් කරමින් 10 සිට 0 දක්වා එම අඩි පාර දිගේ මනසින් ගමන් කළ හැක .නැතහොත් සිත ඒකාග්‍ර වනතුරු එලෙස සිතින් හුස්ම කෙරෙහිම සිත තබා ගෙන අඩි පාර කෙලවර වන තෙක් ගමන් කරන සේ මනෝමයෙන් යා හැක .
එය අවසානයේ විශාල ගේට්ටුවක ද්වාරයක් ඔබට විවර වන සේ සිතන්න.එම ගේට්ටුවෙන් ඇතුළු වන්නේ ඔබ පෙර යාමට සිහින මැවූ පරිසරයටයි.
දැන් එම පරිසරය තුළ සැරිසරන ඔබ එහි සැප පහසු වඩාත් සුන්දර දර්ශනයක් පෙණෙන ස්ථානයක අසුන් ගන්නවා හෝ වැතිරෙනවා යයි සිතන්න .එලෙස සිට ඒ පරිසරයේ ඔබ කැමති සතුන් සහ දර්ශනයන් මනොමයෙන් දකිමින් භාවනා කාලය අවසාන වනතුරු සිටින්න.
මනසින් ඒ කැමතිම සොඳුරු පරිසරය භාවනා කාලය අවසාන වනතුරු විඳ ගන්න.
භාවනා කාලය අවසාන වූ පසු නැවත 0 සිට හුස්ම ගණන් කරමින් අඩි පාර දිගේ මනසින් පැමිණ ඔබේ පියවි ලෝකයට පැමිණෙන්න.

මෙය ඔබ නින්දට යාමට පෙර සිදු කරන්නේ නම් ටයිමරයක් මගින් කාල රාමුවක් තැබීමට අවශ්‍ය නොවේ.එමෙන්ම ආපසු පියවි ලෝකයට පැමිණීමටද අවශ්‍ය නොමැති බැවින් මනසින් එම සුන්දර පරිසරය විඳිමින්ම නින්දට වැටෙන්න.

මෙම දෘශ්‍ය පරිකල්පිත භාවනා ක්‍රමය අත්හදා බලා එයින් ලැබූ අත්දැකීම පිලිබඳ ඔබගේ අදහස් අපට දක්වන්නටත්  අමතක කරන්න එපා .









Comments