භාවනාව පටන් ගන්නා ඔබගේ බලාපොරොත්තු කෙලෙස විය යුතුද?



ජීවිතයේ ඕනෑම් ලං කර ගැනීමක් බලාපොරොත්තු නොමැතිව සිදු වේ නම් එය මුසාවකි.එබැවින් අප භාවනා කිරීම හෝ වෙනයම් පුරුද්දක් හෝ එනම් අළුත් ව්‍යායාම වැඩසටහනකට යොමු වීම වැනි වෙනසක් ජීවිතයට ලං කරගනු ලබන්නේත් යම් බලාපොරොත්තුවක් අරමුණක් සහිතවම වේ.

බලාපොරොත්තු තබා ගැනීමේ ගැටළුවක් නොමැති අතර නිවැරදි සහ සැබෑ වීමට සැබවින්ම වැඩි ප්‍රවණතාවක් ඇති බලාපොරොත්තු සහිත වීම යමක් ස්ථිරවම ආරම්බ කිරීමට පිටුවහලක් වේ.නමුත් මෙහිදී අප අනිසි බලාපොරොත්තු තබා ගන්නේ නම්, අප යම් දෙයක් ලං කර ගත්තද ටික කලකින් එය එපා වී යාමට හෝ පුරුද්ද ඇතහැරී යාමට එසේ කිරීම හේතුවක් වනු ඇත.
ඉදින් අප භාවනා කිරීම ආරම්බ කිරීමට ප්‍රතමයෙනුත් නිවැරදි බලාපොරොත්තු ඇති කර ගැනීම අවශ්‍ය වන අතර ඒ සඳහා පිටුවහලක් වන්නට සිතුවෙමි.




භාවනාව ගැන ලෝකයේ විවධ වෙය්ද්‍ය  විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවක් මෙන්ම,අපට එදිනෙදා හමුවන බොහෝ දෙනෙකුගේ පෞද්ගලික අත්දැකීම් රැසක් ද අසන්නට කියවන්නට ලැබේ.බොහෝ සෙයින්ම භාවනාව හා බැඳුනු සංස්කෘතික ආගමික සමාජයක ජීවත් වන හෝ ජීවත් වූ සිංහලයාට එය සුලබ කරුණකි.
නමුත් භාවනාවක් පටන් ගත් අළුතම එතරම් කායික මානසික සංවර්ධනයක් සැනින් සිදු වේ යැයි සිතීම හිතළුවකි.කිමද ඕනෑම ක්‍රියාවක් ප්‍රගුණ කිරීම තුලින්ම පමණක් එය සැබෑම නිවැරදි ආකාරයට කරන අයුරු අපට හමු වන නිසාවෙනි .එනිසාම එයට යම් කාලයක් ගත වනු ඇත.බොහොමයක් විද්‍යාත්මක පරීක්ෂණ සිදු කර ඇත්තේද භාවනාව කලක් තිස්සේ ප්‍රගුණ කළ ටිබෙට් යෝගී වරුන්/හිමිවරුන් වැනි අය සහභාගී කර ගැනීමෙනි.(බොහොමයක්ම මොළයේ සිදුවන වෙනස්කම් ආදියට අදාලව)සාමාන්‍ය රෝගීන් අරබයා කරන ලද පරීක්ෂණ පවා බොහෝවිට සිදු කර ඇත්තේ තරමක් දිගු කාල රාමුවක් යොදා ගනිමිනි.එබැවින් දිනයක් දෙකක්,සතියක් වුවත් ගත වුවද, භාවනාවෙන් දැනෙන තරමක වෙනසක් වීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොවන බව අප භාවනාව පටන් ගැනීමට සිතා ගත් පසු මනසේ තබා ගත යුතු වේ.

ඔබ භාවනා කිරීමෙන් සිත නිශ්චල වීම නොහොත් සමාධියට පත් වීම ගැන අසා ඇති බව සිතමි.එය Meditative state ලෙසින්ද හඳුන්වයි.නමුත් මෙම තත්වයට පත් වීමටත් තරමක කාලයක් භාවනා කළ යුතු අතර ඒ සඳහා ගතවන කාලය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වනු ඇත.එබැවින් වෙන අයගේ අත්දැකීම් නිසා පසුබෑමට ලක් නොවන්න.
භාවනාව ප්‍රගුණ කිරීමේදී මුලටම ඔබට හැඟෙන දේනම්,ඔබගේ සිතුවිලි ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වී යාමයි.මෙය යම් දිනක සිතුවිලි නැතිවී නිශ්චල වන/meditative state වෙත ළඟා වීමේ අවස්ථාව දක්වා භාවනාවෙන් සිත වෙනස් වෙමින් යන ආකාරයයි.

මුලදී ඔබ මිනිත්තු කිහිපයක් භාවනා කරනවිට මිනිත්තුවකට සිතුවිලි 100ක්පැමිණේ නම්,පසුව එය ක්‍රමක්‍රමයෙන් 90,80,70….0 දක්වා හෝ 75,50,..0(උදාහරණ පමණි,රටා නොමැතිව අඩු වියද හැක)ආදී කිසියම් ක්‍රමයකට ක්‍රමයෙන් දිනෙන් දින අඩු වී යාම සිදු වේ.සමහර අයෙකුට මෙලෙස සිතුවිලි අඩු වීමක් දිනෙන් දින සිදුනොවී,සතියෙන් සතිය හෝ දින 2,3,4 කිසියම් ගණනක රටාවකට(හෝ කිසිම රටාවක් නොමැති අනිසි ලෙසද ) සිදු විය හැක.එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනු ඇත.නමුත් අවශ්‍ය වනුයේ සමාධිය/meditative state කරා හඹා යාමේ අටියෙන් භාවනාවේ තරගයකට සහබාගී වීම නොව,එය ප්‍රගුණ කිරීම දිගින් දිගටම ඉවසීමෙන් කිරීමත්,පසුබෑමට පත් නොවීමත්ය.එමෙන්ම සිතෙහි සිතුවිලි ඇති වීමේ සොබාවය හා වේගය පිලිබඳ නුවණින් දැකීමත්,එය මනුෂ්‍යාගේ සිතෙහි සාමාන්‍ය ස්වාභාවය ලෙස වටහා ගැනීමත්ය.
එමගින් තවදුරටත් මනුෂ්‍යයෙකු ලෙස තමා අනවශ්‍ය සිතුවිලි නිසා ගන්නා තීරණ ආදිය ගැන වටහා ගැනීමටත්, තමාට තමාගේ ස්වාභාවය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටත්, තමාටත් අන් අයටත් අවබෝදයෙන් සමාව දීමට හා   මෛත්‍රී කිරීමටත් මනස සහ පෞර්ෂය සංවර්ධනය කිරීමට ඇති හැකියාවත් එම වටහා ගැනීමෙන් ළඟා කර ගැනීමද අපට සිදු කළ හැකිය.

එමෙන්ම භාවනාව හා සබැඳි මිනිසුන් පවසන අධි මානසික ක්‍රියා සහ අමනුෂ්‍ය සන්නිවේදන ආදී දෑ කිසි විටෙකත් භාවනාවේ බලාපොරොත්තු නොවිය යුතුය .ඒවා හුදෙක් අනිසි බලාපොරොත්තු වන අතරම අප මෝහයට පත් කරවන අවිද්යාත්මික(විද්‍යාවෙන් තහවරු නොවූ ) අදහස් වේ .
නොපෙනන ලෝකය ගැන මා හට අත්දැකීම් නොමැති බැවින් මා ඒවා අසත්‍ය යයි නොකියමි .නමුත් පෙණෙන ලෝකය ජය ගැනීම අරඹයා මම භාවනා කිරීමට සහෘදයන් යොමු කිරීමේ  අටියෙන් මේ සෑම ලිපියක්ම ලියමි .


එමෙන්ම මම ආගමික පඬිවරයෙක් හෝ දේශකවරයෙක් නොවන අතර භාවනාවෙන් වෛද්‍ය විද්‍යාත්මකව මිනිසුන්ගේ ශාරීරික හා මානසික සෞක්‍ය  ප්‍රතිලාභ ඉහල නැංවීමට ඇති හැකියාව සලකා මා දන්නා දැනුම බෙදා දෙමි .

භාවනාව මෙලෙස දිගින් දිගට ප්‍රගුණ කිරීමේදී දිනක ඔබ සමාධිගත නොහොත් meditative state තැනට පත් වනු ඇත .එවිට එය පළමුව සිදු වීමේදී ඔබගේ මොළයට සහ ශරීරයට එය වෙනස් අත්දැකීමක් වන බැවින් හදිසියේ රුදිර පීඩනය අඩු වීමක් හෙවත් slight sudden drop of blood pressure සිදු විය හැක .මෙය ගැටළුවක් නොවන අතර තරමක කරකිලි ස්වභාවයක් හෝ ඔලුවේ අධික සැහැල්ලු බවක් මෙන් දැනෙනු ඇත .මෙය දැනෙනුයේ  භාවනාවෙන් පියවි සිහියට පැමිණි පසුවයි .එවිට රුධිර පීඩනය යථා තත්වයට පත් කර ගැනීම සඳහා ජලය පානය කිරීමත් සැනින් අහාර නොගැනීමටත් මතක තබා ගන්න .ආහාර ගත යුත්තේ භාවනාවක් අවසාන කර විනාඩි 15ක් පමණ ගත වීමෙන් පසුය .(එය සෑම විටම මතක තබා ගන්න )

ඉදිරියේදී විවිධ විද්‍යාත්මක පරීක්ෂණ මගින් සනාථ වූ භාවනාවේ ප්‍රතිලාභ ගෙනහැර දක්වන්නට සිතමි .නමුදු මූලික වශයෙන්ම කෙනෙකු භාවනා කළ යුත්තේ තම සිත වටහා ගැනීමටත් එය වටහා නොගැනීම තුලින් ජීවිතය තුල සිදු වන අත් වැරදීම් සහ නරක පුරුදු මගහරවා ගැනීමටත් වේ .එමගින් මානසික ආතතිය දුරලා වඩාත් සතුටින් පිරි සෞක්‍යමත් ජීවිතයක් ලඟා කර ගැනීම කෙනෙකුගේ භාවනා කිරීමේ බලාපොරොත්තුව වේ නම් එය සැබවින්ම ඉටු වන සැබෑ බලාපොරොත්තුවක් වනු ඇත .


සැ යු -ඔබ විෂාදය වැනි කිසියම් මානසික රෝගයකින් පෙළෙන්නේ නම් හෝ කිසියම් මානසික වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්නේ නම් ,භාවනා කිරීමට ප්‍රථම එය ඔබගේ මානසික වෛද්‍යවරයාට දැනුම් දීම කළ යුතුම වේ .එමෙන්ම එවැනි රෝග ඇති  ඔබට භාවනා කිරීමෙන් පසු කිසියම් අමුතු /වෙනස් සිතුවිලි දැනීම් හැඟෙ නම් ඒවාද මානසික වෛද්‍යවරයාට දැනුම් දෙන්න .

Comments