1.භාවනාවට කාලය වෙන් කර ගන්නේ කෙසේද ?
යම් දෙයක් දෛනික පුරුද්දක් කර ගැනීමට නම් අප එය දවසේ අපට විශේෂ රාජකාරියක් නොමැති වේලාවකට යොදා ගත යුතුය .
සාමාන්‍යයෙන් උදෑසන දිනපතා අවදි වන වේලාවට වඩා විනාඩි 15ක් 20ක් කලින් අවදි වීමෙන් ද ,නැතහොත් රාත්‍රී නින්දට යාමට පෙර විනාඩි 15ක් පමණ සියළු කටයුතු ඉවර කරද ,එසේත් නැතිනම් හවස් වරුවේ රැකියාවේ වැඩ ඉවර වූ පසු ගෙදර පැමිණ පිරිසිදු වී නිදහස් වූ පසුද කෙනෙකුට භාවනාව පුරුද්දක් ලෙස කර ගෙන යාමට කාලය වෙන් කර ගත හැක .
2.ආරම්භයේදී අප කෙතරම් කාලයක් භාවනා කළ යුතුද ?
සරලව පවසන්නේ නම් දිනකට මිනිත්තු 5-10ක් පළමු සති 2-3 තුල(නොකඩවා )
(මිනිත්තු 15 උපරිම)
භාවනාව ආරම්භයේදීම අප මිනිත්තු 15කට වඩා එක දිගට කිරීමට යාම එතරම් යෝග්‍ය නොවන්නේ හුදෙක්ම ඔබ භාවනාවට අළුත් නම් හෝ භාවනාව කාලයක් (වසර ගණනක් අත හැරුණු ) කිරීමට නොහැකි වූ අයෙක් නම් හෝ එය නැවත ආරම්භ කිරීමට යාමේදී එලෙස දීර්ඝ කාලයක් භාවනා කිරීමට යාම අනවශ්‍ය ප්‍රතිපල ඇති කිරීමට හේතු වන බැවිනි.
මෙයට හේතුව නම් අපගේ මොළය හා මනස භාවනාව වැනි ක්‍රියාවලියකට උපතින්ම හැඩ ගැසී නොමැති බැවින් සහ අප නිතර සිතුවිලි පරම්පරා වල එල්බ සිටින බැවින් එය එක්වර දීර්ඝ වේලාවක් කිරීමට යාමෙන් අනවශ්‍ය ආතතියක් මොළයට සහ සිතට ඇති විය හැකි බැවිනි .
එමෙන්ම දීර්ඝ කාලයක් එක වර එසේ කිරීමට යාමෙන් අපගේ මනසට සිතුවිලි පැමිණ භාවනාවේ අරමුණෙන් ඈත් වීමේ අවස්ථා ගණනද වැඩි වන බැවින් එය අප කෙරෙහි අසාර්ථක වූවාක් මෙන් වැඩි වැඩියෙන් දැනීමේ සම්භාවිතාව ඉහල නැංවීමටත් හේතු වේ.එමගින්ම භාවනාව එදිනෙදා පුරුද්දක් කර ගැනීම වැළකීමත් සිදු විය හැක.
භාවනාව මනසට කරන ව්‍යායාමයක් ලෙස සලකන්න.කායික ව්‍යායාමයක් වුවත් ආරම්භයේදීම වැඩි වේලාවක් සහ අධි තීව්‍රතාවයකින් කළහොත් එයින් ශරීරයට හානි සිදු විය හැකි බව ඕනෑම අයෙකු දන්නා අතර භාවනාව වුවද එලෙස වේ.එබැවින් කාලයක් තිස්සේ එය ක්‍රමානුකුලව පුරුදු පුහුණු කර වැඩි දියුණු කළ යුතු අතර එක්වර වැඩි වැඩියෙන් ප්‍රගුණ කිරීමට ගොස් මනසට හානි සිදු කර ගත යුතු නොවේ.
3.අප භාවනා කරන අයෙකු ලෙස විශේෂ අහාර රටාවක් ගෙන යා යුතුද ?
නැත .
අප නැවුම් ශාක අහාර භාවිතය බහුල කිරීම අපගේ කායික හා මානසික සෞක්‍ය ඉහල නැංවීමට හේතු වීම සත්‍යකි.නමුත් නැවුම් ශාක අහාර වැඩි වැඩියෙන් ගැනීම යනු ශාකභක්ෂක වීම නොවන බව මාගේ අදහසයි.
එනිසා විශේෂ නිර්මාංශික අහාර රටාවකට යොමු වීම අනවශ්‍ය අතර එවැන්නක් වෛද්‍ය විද්‍යාත්මකව තහවරු කරද නැත.එනම් නිර්මාංශික වීම භාවනාව වැඩීමට සහ එය වැඩි දියුණු කිරීමට හේතුකාරක වන බවක්.කෘතීම හා අතිශය සැකසූ නැවුම් නොවූ ආහාර පාන ගැනීමෙන් වලකින්න.
සමබල සහ නැවුම් ශාක බහුල(එළවලු හා පලා වැඩි,තරමක් පලතුරු සහිත) සොභාවික මස් මාංශ සහිත හා පිටි සහිත පිෂ්ටය අධික අහාර (බත් සහ පාන් ආදිය) පමණ නොඉක්මවා ආහාරයට ගන්න.එමෙන්ම හොඳ මේදය(ස්වාභාවික) ඉවුම් පිහුම් වලදී යොදාගෙන ආහාරයට එකතු කර ගන්න.(පොල් තෙල්,ගිතෙල්,අලිගැට පේර)
නමුත් ආහාරයක් ගත් සැනින් භාවනා කිරීමට නොයන්න.සාමාන්යෙන් ප්‍රධාන අහාර වේලකට පසු පැය 2කටවත් පසු භාවනා කළ යුතු අතර භාවනා කිරීමෙන් පසු ඉක්මනින්ම අහාර නොගත යුතුය.
4.භාවනා කිරීම අවසන් කළ සැනින් නොකළ යුතු දෑ මොනවාද ?
භාවනා කර ඉවර වූ පසු නැවත ආහාරයක් ගන්නට ඇත්තේ නම් එය එසැනින් නොගත යුතු අතර ගත යුත්තේ අඩුම වශයෙන් මිනිත්තු 15ක් වත් ගත වූ පසුවය.
මෙයට හේතුව නම් භාවනා කිරීමෙන් පසු මොළයට රුධිරය ගමන් ගන්නා බැවින් අප අහාර ගත හොත් රුධිර සංසරණය අහාර මාර්ගයට විශේෂයෙන් ගමන් කිරීමයි .මෙය භාවනාවෙන් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නව වෙනස්කම් හා පුනර්ජීවන කටයුතු සිදු වීමට බාධාවක් වීමයි .
5.මාගේ පෞද්ගලික මතය අනුව භාවනා කිරීමට සුදුසුම වේලාව නම් .
උදෑසන අවදි වූ පසු ජලය පානය කිරීමෙන් පසුවය .
කිසිවක් ආහාරයට නොගෙන නිරාහාරව සිටින අවස්ථාව භාවනාවට වඩාත් සුදුසු වේ.
6.කායික ව්‍යායාම කිරීමෙන් අනතුරුව භාවනා කිරීම සුදුසුද ?
ඔව් .
නමුත් warm down නැතහොත් ව්‍යායාම අවසානයේ ඇඟේ උණුසුම අඩු කිරීමේ ඇදීම් ව්‍යායාම හා සන්සුන් ව්‍යායාම කිරීමෙන් පසු .
නමුත් ඔබට ඇඟෙහි දහදිය තිබීම අපහසු නම් ,ශරීරය පිරිසිදු කර ගැනීමෙන් පසු භාවනා කළ හැක .
7.භාවනා කිරීමට විශේෂ ඉරියවුවක් අවශ්‍යද ?
නැත .
පහසු ලෙස වාඩි වී කොඳු ඇට පේලිය කෙලින් සිටින ලෙස සිටීම ප්‍රමාණවත් වේ .
නමුත් අර්ධ පර්යන්කයෙන් /Lotus position වුවද ඔබට පහසු ආසනයක් නම් එහි සිට භාවනා කිරීමද ගැලපේ .එමෙන්ම නිදා ගැනීමට පෙර සයනයේ වැතිර සිට ද භාවනා කල හැක .එකම දෙය නම් එවිට එම කාලය තුල නොනිදා භාවනා අරමුණෙහි සිටීමට භාවනාව පටන් ගන්නා විටම අදිෂ්ටාන කර එය සිදු කිරීමයි .
එමෙන්ම සක්මන් භාවනාව හා යෝගාසන වල සිට සිදු කරන භාවනා ක්‍රමද ඇත.
8.යෝගාසන වැඩීමෙන් හා ප්‍රාණයාම/Breathing exercises කිරීමෙන් පසු භාවනා කළ හැකිද ?
ඔව්.
සැබවින්ම එය වඩාත් මැනවින් භාවනා කිරීමට හේතුවක් වේ .නමුත් ඔබ එවැනි යෝගාසන හා ප්‍රාණයාම නොදන්නා අයෙකු නම් ඒ ගැන කරදර නොවිය යුතු අතර ඔබට ඒවා නොදැන වුව භාවනාව ආරම්භ කළ හැක .
9.භාවනා කිරීමට බෞද්ධයෙකු හෝ හින්දු ආගමිකයෙකු විය යුතුද ?
කිසිසේත්ම නැත .
භාවනාව සියලුම මනුෂ්‍ය වර්ගයාට කල හැකි මානසික අභ්‍යාසයකි .ආගමක් නොමැති අයට පවා .
භාවනාව සියළුම මිනිසුන්ට අයිති වේ .
භාවනාව සමස්ථ මනුෂ්‍ය වර්ගයා තුල කරුණාව,දයාව,උපේක්ෂාව,ඉවසීම,අන්‍යයන් වටහා ගැනීම,සමාවදීම හා මෛත්‍රිය ආදී උසස් මානසික ලක්ෂණ හා හැඟීම් ඇති කරයි .
10.භාවනා කිරීමට නුසුදුසු වෙලාවක් ඇත්ද?
ඔව්.
විශාල ආහාරයක් ,විශේෂයෙන්ම පිෂ්ටය අධික ආහාරයක් ගත් විගස භාවනා කිරීමෙන් පලක් නොමැත .මොකද එම අහාර ජීර්ණ ක්‍රියාවලිය නිසා අපට නිදිමත හා උදාසීන ගතියක් ඇති වන බැවිනි .
එනිසා අහාර ගෙන පැය 2ක්වත් ගත වූ පසු භාවනා කරන්න .
ඒ හැර දවසේ ඕනෑම වේලාවක් භාවනාවට සුදුසු වේ .
11.නිවසේ සිට භාවනා කළ හැකිද ?නැතහොත් විශේෂ තැනක් සොයා ගත යුතුද ?
නිවසේ සිට හෝ ඕනෑම තැනක සිට භාවනා කළ හැකියි .
නමුත් තරමක් නිශ්ශබ්ධ සහ ඔබට එම සුළු කාලය තුල කිසිදු බාහිර බාධාවක් නොවන ස්ථානයක් විය යුතුයි.
නිවසේ අනෙක් අය අවදි වීමට මිනිත්තු ගණනකට පෙර අවදි වීමෙන් එවැනි වටපිටාවක් නිවස තුලම හැඩ ගස්වා ගත හැක.
12.භාවනා කිරීමට සුදුසු වයසක් ඇත්ද ?
නැත .
ඕනෑම වයස් කාණ්ඩයක අයට භාවනා කල හැකි අතර කුඩා කාලයේ සිටම එය පුරුද්දක් කර ගැනීමෙන් මොලය සහ ස්නායු පද්දතියත් ශරීරයත් වයසට යාම මන්දගාමී කරනු ලැබේ.
(Slow down of age related degeneration)
13.භාවනා කිරීමෙන් උමතු රෝගීන් විය හැකිද ?
නැහැ .කොහෙත්ම නැත .
නමුත් මම ඉහතදී සඳහන් කලාක් මෙන් පටන් ගැනීමේ සිට දීර්ඝ වේලාවක් භාවනා කිරීමට යාම හෝ ,තරමක් භාවනාව පුරුදු පුහුණු වෙද්දීත් කාලය ක්‍රමානුකුලව වැඩි නොකර එකවර වැඩි කිරීමට යාමෙන් හෝ මෙලෙස වීමට සම්භාවිතාවක් ඇති අතර .එයද බොහෝ විට නිදන් ගතව හෝ භාවනාව ආරම්භයේ පටන්ම මානසික රෝග වලින් පෙලෙන අයට වේ.
එනිසා ඔබට මානසික රෝගයක් ඇත්නම් පළමුව මානසික වෛද්‍යවරයෙක් හමු වන්න.වෛද්‍යවරයාගේ අනුදැනුම යටතේ පමණක් භාවනාවට යොමු වන්න.
එමෙන්ම එලෙස භාවනාව පුරුදු කරන විට කිසියම් වෙනස් අත්දැකීම් හා සිතුවිලි පහල වේ නම් ඒවාද මානසික වෛද්‍යවරයාට දැනුම් දෙන්න.
නමුත් සාමාන්‍ය මානසික සෞක්‍යයෙන් යුතු ඕනෑම අයෙකුට භාවනා කළහැකි අතර එමගින් පසු කාලයේ එවැනි රෝග වලට මුහුණදීමේ හැකියාවද අඩු වේ.
Comments
Post a Comment