භාවනාවට පෙරවදනක් ….

"සතුට සොයා යාමට තම සිතෙහි ගැඹුරුම තැන් හාරා තමා නිවැරදි විය යුත්තේ කෙසේදැයි සිතට එකඟවම සොයා යන්නා භාවනනුයෝගියෙකු වේ ."

භාවනාව යනු ආගමක් නොමැතිව ඕනෑම මිනිසෙකුට තම සිත සනසා ගැනීමට විවිධාකාරයෙන් භාවිතා කළ හැකි සරල නමුදු පුළුල් වූත්,ගැඹුරු වූත් දර්ශනයක් යන්න සරලව පෙන්වා දිය හැකියි .
“සැබෑ භාවනාව යනු අප මොහොතින් මොහොතට අපේ ජිවිත තුළ ජිවත් වන ආකාරය ගැන සිහිය පිහිටුවා ගැනීමට පුහුණුව ලබා දෙන මෙවලමයි “

භාවනා කිරීම අද වන විට ලෝකය පුරා සාමාන්‍ය ජනතාව අතර බෙහෙවින් පැතිර ඇත.එහෙත් මෙයට ශතවර්ෂයකට පමණ පෙර එය කාලාන්තරයක් තිස්සේ සීමා වී පැවතියේ සියල්ල අතහැර පරම සත්‍ය සොයා යාම අරමුණු කර ගත් මුනිවරයන් හා ශාන්තුවරයන්ටය.එය හුදෙක් එවැන්නන් සිදු කල ඉතා පාරිශුද්ධ වූත් සංකීර්ණ ලෙස සැලකූත් සාමාන්‍ය ජනයාට නිතර කළ නොහැකි යයි සිතුත් අධි මානසික කර්තව්‍යක් පමණක්ම විය.නමුත් දැන් දැන් එය වෙනස් වෙමින් පවතිනුයේ පහු ගිය වකවානුවේ යෝග සහ භාවනා පිලිබඳ දකුණු ආසියාවෙන් ඔබ්බට බටහිර ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමගයි.

බටහිර තුළ කාර්මීකරණය සමග ජීවිත සංකීර්ණ වීම නිසා මනුෂ්‍යයා සතුට සොයා යන්නට විය.ඒ සමගම භාවනාව සහ යෝග බටහිර තුළ ප්‍රචලිත වන්නට පටන් ගැනුනි.

ඉතිහාසය විපරම් කර බැලීමේදී ඉන්දියාව තුල භාවනාව ක්‍රිස්තු පූර්ව 1500ටත් එහා ඉතිහාසයක් පෙන්වන අතර චීනය තුල ක්‍රිස්තු පූර්ව 6 වන සියවස තරම් ඈතට දිව යයි.

ඉන්දියාවේ වේධ ග්‍රන්ථ තුල භාවනා ගැන කියා දෙන්නේ ක්‍රිස්තු පූර්ව 3500-5000 තරම් ඈත අතීතයේ සිට වන අතර බුදුන් දවස වෙද්දී භාවනාව පිළිබඳ ප්‍රවණතාව ඉතා ඉහලින් පැවතියේ එකල බුදුන් මෙන් බොහෝ දෙනෙකු සත්‍ය සොයා යාමේ මාර්ගය කරා යාමට දැක්වූ කැමැත්ත ඉතා ඉහල වූවන්ගෙන් සමන්විත වීමත් සමගය.එමෙන්ම බෞද්ධ භාවනාව බොහෝ විට මානසික සුවය සහ සතුට මෙන්ම පෞර්ෂ සංවර්ධනය අරමුණු කර ගත් ක්‍රම වලින් වර්ධනය වූ අතර හින්දු වේධාන්ත ඉගැන්වීම් තුල භාවනාව අධි මානසික ක්‍රියා සංවර්ධනයට අරමුණු කෙරුණු බවක් දක්නට විය .එනිසාම බෞද්ධ භාවනා ක්‍රම හින්දු ක්‍රම වලටත් වඩා මනුෂ්‍යත්වය හා මානසික සුවය අගයන්නන් අතර ජනප්‍රිය වන්නට විය .

මෙලෙස දකුණු ආසියාවේ භාවනා ක්‍රම පිලිබඳ ඉතිහාසය අවුරුදු 2500කට පෙර බුදුන් දවසටත් වඩා වසර දහස් ගණනක් ඉපැරණි වුවද බටහිර ලෝකය තුළ එය එතරම් ඉපැරණි නොවේ.


Jesus lived in India වැනි කෘතී මගින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ බෞද්ධ හෝ පෙරදිග අනුභාෂයක් ගැන අනුමාන දැක්වුවද ඉපැරණි කිතුනුවන් තුළ පුරුද්දක් ලෙස භාවනාව පාවිච්චි වූ බවක් සඳහන් නොවේ .

බුදු දහම තුල භාවනාව මූලික ඉගැන්වීමකි.එමෙන්ම කිතුනු ආගම හා අනෙකුත් ආගම් ඇදහිලි බොහොමයක මනස ඒකාග්‍ර කිරීමට ඉවහල් වන විවධ වන්දනාමාන හා යාච් .ා කිරීම් ආදිය ඇත.එමගින් පෙන්වා දෙනුයේ මනුෂ්‍ය සමාජය තුල මානසික එකග්‍රතාවය අරබයා විවිධ ජන කොටස් හා ආගම් අතර එදා සිට පැවති ප්‍රවනතවයි.එමෙන්ම බටහිර ලෝකය තුළ ඉපැරණිම ආගම වන යුදෙව් ආගම තුල පවා ගැඹුරු අදහස් හා සිත යෙදවීම ආදී භාවනාවට තරමක් සමීප වූ ක්‍රියාකාරකම් ගැන සඳහන් වේ.එමගින්ද තහවරු වනුයේ මිනිසා තුල අතීතයේ සිට මානසික සංවර්ධනය කරා යොමු වීමට තිබූ කැමැත්තයි.

බටහිර ලෝකයට භාවනාව පැමිණෙන්නේ 16වන සියවසේදී පමණ වේ.ඒ විවිධ හින්දු සහ බෞද්ධ පොත් පත් ඉංග්‍රීසියට පරිවර්තනය වීමත් සමගිනි.එනම් භගවත් ගීතාව,උපනිෂද් ග්‍රන්ථ හා බෞද්ධ සුත්‍ර ආදිය ඉංග්‍රීසි පාඨකයන් අතට පත් වීමත් සමගයි.නමුත් 18 වන සියවස පමණ තෙක් භාවනාව පැවතියේ දර්ශනවාදීන්ගේ හා අනෙකුත් උගතුන්ගේ සංවාදයේ යෙදෙන මාතෘකාවක් ලෙස පමණි.

භාවනාව බටහිර තුළ ජිවිතාන්ගයක් බවට පත් වන්නේ 20 වන සියවසේදියි.ඒ ස්වාමි විවේකානන්ද යන බෙන්ගාලි යෝගිවරයාගේ ඇමෙරිකා සංචාරය හා චිකාගෝ හී පැවැත්වූ දේශනයත් සමගයි.එයින් පසු භාවනා සහ යෝග ක්‍රම බටහිර තුල බෙහෙවින් ප්‍රචලිත වන්නට විය.එමෙන්ම බුදුදහම හා බෞද්ධ දර්ශනයත් ,හින්දු දර්ශනයත් මෙකලදී බටහිරට හඳුන්වා දීම සිදු විය .

ඒත් සමගම විවිධ හින්දු සහ බෞද්ධ ශාස්තෘවරුන් ඇමෙරිකාව හා යුරෝපය තුල සංචාරය කිරීමත් භාවනා හා යෝග ක්‍රම ප්‍රචලිත කිරීමත් සිදු විය.මේ අතර බටහිර සමාජය භාවනාව වැළඳ ගැනීමත් සමගම එහි ආගමික රාමුගත වීම ගිලිහී එය ආගමික හා අනාගමික සියලු පුද්ගලයන්ට පුහුණු කළ හැකි අධ්‍යාත්මික ක්‍රමවේදයක් බවට පත් වන්නට විය.එමෙන්ම භාවනාව හා මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය හා බැඳුනු විවිධ විද්‍යාත්මක පරීක්ෂණ ද ,භාවනාවේ අධ්‍යාත්මික සංවර්ධන යෙදීම් වලට අමතරවූ ලෞකික යෙදීම් ගැන උනන්දු වීම් ද බටහිර විද්‍යාත්මික ප්‍රජාව අතර ජනප්‍රිය වන්නට විය .

භාවනාව හා සබැඳි මුල්ම බටහිර විද්‍යාත්මක පරීක්ෂණ හා කරුණු ඇසුරෙන් පලවූ වූකෘතියක් ලෙසින් සැලකිය හැක්කේ 1975 වසරේ නිකුත් වන “The relaxation response” by Herbert Benson, Miriam Z. Klipper යන කෘතියයි.එය හුදෙක් Transcendental meditation යන මහාරිෂි මහේෂ් යෝගිවරයා විසින් හඳුන්වා දුන් භාවනා ක්‍රමය උපයෝගී කර ගනිමින් කරන ලද පරීක්ෂණ ඇසුරින් ලිය වුනකි.එම භාවනා ක්‍රමය මුලික වශයෙන් තමාට පෞද්ගලික වූ මන්ත්‍රයක්/කියමනක් අරමුණු කර ගනිමින් කෙරෙන භාවනා ක්‍රමයක් වන අතර ඉදිරියේදී අප ඒ ගැනත් වෙනත් ලිපි හරහා වැඩිදුර විස්තර කරන්නට බලාපොරොත්තු වන්නෙමු.

“The relaxation response” කෘතියට අනුව භාවනාව මගින් අප සිරුරේ විවිධ හානි නිසා සිදුවූ අනවශ්‍ය ස්නායු අවේග හා සබැඳි ආතතිය හා අකර්මන්‍යතා භාවනාව මගින් උද්දීපනය වන සන්සුන් වීම තුළින් මගහරවා ගැනීමට ඇති හැකියාවත්,යථා තත්වයට පත් කර ගැනීමට ඇති හැකියාවත් පෙන්වා දෙයි.

“Transcendental meditation” භාවනා ක්‍රමයට පසුව, අනූව දශකය පමණ වන විට බටහිර තුල “Mindfullness meditation” එනම් එළැඹි සිහිය පිහිටුවා ගැනීමේ භාවනාව නොහොත් සතිපට්ටාන නමින් ථෙරවාද බුදු දහමේ හැදින්වෙන භාවනා ක්‍රමය ප්‍රචලිත වන්නට විය.ඒ බෙහෙවින්ම ජපාන සෙන් බුදු දහමේ අභාෂය බටහිර භාවනාකරුවන් වෙතට යාමත් සමගයි.ඒ අතරම පසුකාලීනව එම භාවනා ක්‍රමය බටහිර මනෝ චිකිත්සා ක්‍රම තුළ ද භාවිතා කෙරෙන්නට පටන් ගැනුනි .ඒ “The Mindfulness-Based Cognitive Therapy (MBCT)” ලෙසිනි.එය අදටද විෂාදය සදහා භාවිතා කෙරෙන ප්‍රතිකාර ක්‍රමයකි.

අද වනවිට ලෝකය පුරා විවිධ අයුරින් mindfulness භාවනා ක්‍රමය උගන්වාදෙන පංති සහ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර එය ලෝකයේ වඩාත්ම ප්‍රචලිත භාවනා ක්‍රමයක් වේ.

එමෙන්ම බටහිර ලෝකය තුල යෝග ක්‍රම ව්‍යාප්තියත් සමගම breathing meditation නොහොත් ආනාපානසති භාවනාවද බෙහෙවින් ජනප්‍රිය වන්නට විය.යෝග වල මුලිකම අදහස වනුයේ ඕනෑම ඉරියවුවකදී වුවද හුස්ම පිලිබඳ සිත මැනවින් පිහිටුවා ගැනීමත් නිවැරදි ලෙස ශවසනය කිරීමත් වේ.

මේ අතරම මෛත්‍රී භාවනාව,නිර්මාණාත්මක සහ මනසේ විවිධ දෑ මවන භාවනා ක්‍රමද,සක්මන් භාවනා හා පහන් දැල්ල ආදිය අරමුණු කරගත් භාවනා ක්‍රමද,යෝග නිද්‍රා ආදියත්,මෝහන ක්‍රම ආදියත් අද වන විට ලොව පුරා බොහෝ දෙනෙක් භාවිතා කරන භාවනා ක්‍රම අතර පවතී.එමෙන්ම යටි සිතට පණිවිඩ හා සංවේදන ලබා දීමටත් භාවනාව යොදා ගැනේ.

භාවනාවෙන් මිනිසාට ඇති ප්‍රයෝජන බොහෝ වන අතර බෙහෙවින්ම එය මානසික සෞඛ්‍යය සංවර්ධනයට ඉවහල් වේ.නමුත් භාවනාවේ ප්‍රයෝජන අනන්ත අප්‍රමාණ වන බැවින් එය වෙනම සාකච්චා කළයුතු මාතෘකාවක් බව කිව යුතුය.

සමාජ සංස්කෘතික රාමුවට එහා ගොස් භාවනාව සියළුම මනුෂ්‍ය වර්ගයාගේ මානසික හා කායික සුවය පිණිස යොදා ගන්නා මෙවලමක් ලෙස වැඩි දියුණු කිරීම අපගේ අරමුණයි.එබැවින් ඉදිරියේදී ඔබව වඩවඩාත් භාවනාවට යොමු කෙරෙවන විවිධ භාවනා ක්‍රම හා කරුණු සෙවීමටත් ඒවා ලිවීමටත් අදහස් කරන්නෙමු.

Comments